නීති විරෝධී මූණු ආලේපන ජාවාරමක සුලමුල වැල්ලම් පිටියෙන් එළි වෙයි

make up 2

නීති විරෝධී ලෙස තොග වශයෙන්  මෙරටට ගෙන්වා විවිධ වෙළද නාම යටතේ නීති විරෝධීව මුහුණු ආලේපන අලෙවි කරන ලද ව්‍යාපාරික ස්ථානයක් පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගත් බව  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා  සදහන් කළේය.

ඒ අනුව අදාළ ස්ථානය වටලා රුපියල් ලක්ෂ 157ට වැඩි වටිනාකමකින් යුතු මුහුණු ආලේපන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන එම ගබඩාවට මුද්‍රා තබා ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

මෙලෙස මුද්‍රා තබා ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් බවත් බැරල් වශයෙන් මෙරටට ගෙන්වන මුහුණු ආලේපන ප්‍රසිද්ධ වෙළෙඳ නාම හතක ඇසුරුම්වලට ඔවුන් විසින් පුරවා වෙළෙඳ පොළෙට බෙදාහැරීමේ ජාවාරමක් කළක සිට පවත්වාගෙන ගොස් ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි.

මේ පිළිබඳ පසුගිය දා ලැබුණු තොරතුරකට අනුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසක් අදාල ස්ථානය වටලා පරීක්ෂා කිරීමේ දී මෙම ආලේපන තොගය සහ නීති විරෝධී අසුරණ සොයාගෙන ඇතැයි එම අධිකාරිය සදහන් කරයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මුද්‍රා තැබූ මුහුණු ආලේපන තොගයේ රුපියල් 350 බැගින් මිල කරන ලද අසුරණ 45,000ක් තිබූ බවත්  ඒ අනුව එහි වටිනාකම රුපියල් ලක්ෂ 157කට අධික බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම ස්ථානය වැටලීමෙන් පසු මුද්‍රා තබා ඇති අතර මෙලස තොග වශයෙන් භාණ්ඩ ගෙන්වා ප්‍රසිද්ධ වෙළෙඳ නාමයන් යටතේ නැවත අසුරුම් කර විකිණීම පාරිභෝගික පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් ඔවුන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සදහන් කළේය.