අන්තර්ජාල පහසුකම් නැති නිසා සරසවි වරම් අහිමි වෙන්න ගිය උදේශිකාට ඇමතිතුමාගෙන් සුභ ආරංචියක්

උදේශිකා

2015 උසස් පෙළ විභාගයට කලා අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ 03ක් ලබා ගත් සිසුවියකට අන්තර්ජාල පහසුකම්  නොමැති වීමේ ගැටළුවක් නිසා සරසවි වරම් අහිමි වීමේ පුවතක් ඉකුත් දිනවල රටම කැළඹීමට ලක් කිරීමට සමත් විය.

මේ සම්බ්නධයෙන් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ වන විට මැදිහත් වී තිබෙන බව වාර්තා වේ.ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පවසා ඇත්තේ ඇයගේ ගැටළුව සාධනීය පිළිතුරක් ලබා දීමට තමා අපේක්ෂා කරන බවයි.

රටම කැළඹීමට ලක් කළ මෙම ගැටළුවට මුහුණ පෑවේ බුත්තල අධ්‍යාපන කලාපයට අයත් කොටමුදුන මහ විද්‍යාලයේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ආර්. එම්. සෞම්‍යා උදේශිකා සිසුවියයි. 2016 ජනවාරී මස 19 වනදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් තමන්ට ලිපියක් ලැබුණු බවත් 2015 – 2016 අධ්‍යාපන පාඨමාලාවන් සඳහා සෞන්දර්ය අංශයට කොමිසම මගින් තමන් තෝරාගෙන ඇති බවත් එම ලිපියේ සඳහන් ව ඇති බව ඇය මාධ්‍ය වෙත දැක්වූ කරුණුවල සදහන්ව තිබිණි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් එම පාඨමාලාව සඳහා 2016 ජනවාරී 21 වන දිනට පෙර  වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වන ලෙස ද දැනුම් දී තිබූ බව ද එම සිසුවිය පැවසුවාය.

අන්තර්ජාල පහසුකම් නොමැති බැවින් පස්සර නගරයේ පෞද්ගලික ආයතනයක සහය ලබා ගනිමින්  ලියාපදිංචි වීමට කටයුතු කළද තමන්ට විශ්ව විද්‍යාලයක් නොලැබී ඇති බව පසුව ඇයට අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමක දී හෙළිව ඇත්තේ එම සිසුවිය අන්තර්ජාල සේවාව ලබාගත් ස්ථානයෙන් අදාළ ලියාපදිංචි කිරීම නිසි ලෙස සිදුකර නොමැති බවයි.

මෙම සිදුවීම පාදක කර ගනිමින් අන්තර්ජාලය හරහා සරසවි පාඨමාලා සදහා ලියාපදිංචි වීමේ කාර්්‍යයට එරෙහිව සරසවි සිසුන් සහ විවිධ පිරිස් වෙතින් විරෝධතාවක් ද මෙ වන විට පැන නැගෙමින් තිබෙන අයුරු දක්නට ඇත.