බදු ගෙවිල්ලත් නරක නෑ

Ravi-Karunanayake 2

බදු ගෙවීම රටේ සමෘධිය නැංවීම සදහා අත්‍යවශ්‍ය කාර්යයක් මිස නරක පුරුද්දක් නොවන බව ජනතාවට අවබෝධ කරවීමට වත්මන් රජය සමත්ව ඇති බව ‘ද බෑන්කර්’  සගරාව පවසයි.

Ravi-Karunanayake 2

ආසියා පැසිෆික්  කලාපයේ 2016 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා නම් කරමින්  බ්‍රිතාන්‍යයේ පළවන මූල්‍ය සඟරාවක් වන ‘ද බෑන්කර්’ සඟරාව මෙම අදහස් පළ කර තිබේ.

නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සහය මේ හරහා ඇගයීමට ලක් කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් අදහස් පළ කර ඇත.

රජය මත යැපීමට බලා නොසිට සියලු පුරවැසියන් යම් බදු ගෙවීමක් කළ යුතු බව බෑන්කර් තහවුරු කරන බව මුදල් අමාත්‍යංශය පවසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ ලිපි ගොනු 2015 පැවති ලක්ෂ 7ක ප්‍රමාණය මේ වන විට ලක්ෂ 14 දක්වා ඉහළ ගොස් ඇති බවද එම සගරාව පෙන්වා දෙන බවද මුදල් අමාත්‍යංශයේ අදහසයි.

ජාත්‍යන්තර අරමුදලින් ඇමරිකානු ඩොලර් බිලියන1.5ක පමණ ණය ලබා ගැනීමට හැකි වීමත් මෙරට ආර්ථික වර්ධනය කළමනාකරණය කරමින් ස්ථාවර තත්ත්වයට ගෙන ඒමට හැකි වීමත් මෙම අගය කිරීමට හේතු වී ඇති බව පවසයි. වැඩිදුරටත් අදහස් පළ කරන මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ ගෙවුම් ශේෂය හේතුකොටගෙන ඇතිවන මූල්‍ය අර්බුද වළක්වා ගැනීමට සමත් වීම මෙන්ම රටේ මුදල් සංචිත යථා තත්ත්වයට ගෙන එමින් විදේශ ආයොජකයන්ගේ විශ්වාස යළි ගොඩනැගීමට මුදල් අමාත්‍යවරයාට හැකි වීම මෙම අගය කිරීමට හේතු වී ඇති බවයි.