ලොව අංක එකේ සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ඇගයීමක්…..

News Iamges.00_00_00_00.Still2987

2026 වසර සඳහා ලොව හොඳම දූපත් සංචාරක ගමනාන්ත ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ජාත්‍යන්තර සංචාරක මාධ්‍යයක් වන Big 7 Travel විසින් සිදු කළ නවතම ඇගයීමට අනුව, ස්වභාවික සුන්දරත්වය, ජෛව විවිධත්වය, සංස්කෘතික උරුමය, සංචාරක අත්දැකීම් සහ ගෝලීය ජනප්‍රියත්වය ඇතුළු කරුණු රැසක් පදනම් කර ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත.

ඒ අනුව, ග්‍රීසිය, පෘතුගාලය, අයර්ලන්තය සහ තායිලන්තය වැනි දීර්ඝ කාලයක් ලොව ප්‍රමුඛ දූපත් සංචාරක ගමනාන්ත ලෙස සැලකුණු රටවල් අභිබවා යමින් ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පත්වීම විශේෂත්වයකි.

මෙම ජයග්‍රහණයට ශ්‍රී ලංකාවේ අද්විතීය ජෛව විවිධත්වය, පොහොසත් සංස්කෘතික උරුමය සහ කුඩා භූමි ප්‍රමාණයක් තුළ විවිධ පරිසර පද්ධති අත්විඳිය හැකි සංචාරක අත්දැකීම ප්‍රධාන වශයෙන් බලපා ඇති බව වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම, ස්වභාවික පරිසරය, සංස්කෘතිය, වනජීවී අත්දැකීම් සහ පහසු ගමන් පහසුකම් එක් සංචාරයක් තුළම අත්විඳිය හැකි ගමනාන්ත වෙත සංචාරකයන්ගේ අවධානය වැඩිවීමත් සමඟ, ශ්‍රී ලංකාව ලෝක දූපත් සංචාරක කර්මාන්තයේ නව මිණුම් දණ්ඩ බවට පත්වෙමින් සිටින බවද එම ඇගයීමේදී අවධාරණය කර තිබේ.