ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) නිලධාරින් ඉතා සූක්ෂම අයුරින් රුපියල් ලක්ෂ 1800 ක් වංචා කර ඇතැයි නීතිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර වෙත ඊයේ (30) දන්වා සිටියේය.
අදාළ බැංකුවේ තිබූ රුපියල් ලක්ෂ 1800 ක මහජනතාවගේ මුදල් මෙලෙස අවභාවිත කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පුළුල් විමර්ශනයේදී අනාවරණ වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය වෙත දන්වා සිටියේය.
අදාළ රාජ්‍ය බැංකුවේ ණය දෙන අංශයේ මෙම මහා පරිමාණ වංචාව සිදුව ඇතැයි දන්වා සිටි රජයේ නීතිඥවරයා එම වංචාවට අදාළව අදාළ බැංකුවේ ප්‍රධාන ශාඛාවේ ණය කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයිද දන්වා සිටියේය.
මෙම මහා පරිමාණ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට එම රාජ්‍ය බැංකුවේ ඉහළ කළමනාකාරීත්වයේ පිරිසක්ද සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බැවින්, ඒ පිළිබඳවද විමර්ශන පවත්වන බව රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.
ව්‍යාජ ලේඛන සකස් කරමින් ණය අයැදුම්පත් කරන පිරිසකට ඉතා සැලසුම් සහගතව අදාළ බැංකුවේ සැකකාර නිලධාරියා රුපියල් ලක්ෂ ගණනින් ණය මුදල් දී ඇති බවත්, එම ණය මුදල් අනුමත කර දීම වෙනුවෙන් එම බැංකුවේ ඇතැම් පිරිස් රුපියල් ලක්ෂ ගණනින් කොමිස් මුදල් පවා ගෙන තිබීම පුදුම සහගත කරුණක් බවද රජයේ නීතිඥවරයා අධිකරණය වෙත දන්වා සිටියේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවැසීය.
“අදාළ රාජ්‍ය බැංකුවේ තිබූ රුපියල් ලක්ෂ 1800 ක රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන පවත්වමින් සිටිනවා
මෙම අපරාධය ඉතා සංවිධානාත්මකව සූක්ෂම අයුරින් කර ඇති බවද පේනවා.
මෙම රාජ්‍ය බැංකුවේ ප්‍රධාන ශාඛාවේ ණය කළමනාකරු වශයෙන් කටයුතු කළ බව කියන ක්‍රිෂාන් අබේගුණවර්ධන නමැති නඩුවේ තුන්වැනි සැකකරු වටා එකතු වෙමින්, අනෙකුත් සැකකරුවන් මෙලෙස මුදල් වංචා කර ඇති බවද හෙළිවෙලා.
අදාළ බැංකුවේ ණය ගනුදෙනු අංශයේ මෙම මහා පරිමාණ වංචාව සිදු වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මූලිකව එම බැංකුවේ ණය ගොනු 10 ක් පිළිබඳ විමර්ශන පැවැත් වූවා. අනතුරුව ණය ගිණුම් 46 ක් පිළිබඳ විමර්ශන පැවැත් වූවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරගේ උපදෙස් පරිදි අංශ කීපයක් ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මීට අදාළ විමර්ශන කරනවා. මෙය ඉතා විශාල විමර්ශනයක් බව කිව හැකිය.
මෙම නඩුවේ පළමු වැනි සැකකාරිය වන බාලසූරියගේ දිලිනි මහේෂිකා පෙරේරා සහ 04 වැනි සැකකාරිය වන ශානිකා ප්‍රියදර්ශනී අදාළ බැංකුවෙන් ණය අයැදුම් කිරීම සඳහා කූට ලේඛන සකස් කර වාර්තා ඉදිරිපත් කර තිබෙනවා.
මෙම නඩුවේ එක් සැකකාරියක් බොරැල්ල ප්‍රදේශයේ කොමියුනිකේෂන් එකක් පවත්වාගෙන ගොස් තිබෙනවා. එම ස්ථානයට විවිධ ආයතනවල ලෙටර් හෙඩ් මුද්‍රා සහතික පිටපත් ගැනීමට පැමිණෙනවා. ඒවායේ පිටපත් අදාළ සැකකාරිය තබාගෙන ව්‍යාජ දත්ත ඇතුළත් කර ණය අයැදුම්පත් කර තිබෙනවා. මෙම නඩුවේ සැකකාරියන් දෙදෙනා කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන 02 ක විධායක ශ්‍රේණියේ නිලධාරිනියන් දෙදෙනකු ලෙසත්, ඉතා ඉහළ වැටුප් ගන්නා අය බවත් සඳහන් කර ණය අයැදුම්පත් කර තිබෙනවා.
අදාළ ආයතනවල ප්‍රධානීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ප්‍රකාශ සටහන් කරගත්තා. එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම සැකකාරියන් දෙදෙනා ඔවුන්ගේ ආයතනවල නිලධාරිනියන් නොවන බවයි.
මෙම නඩුවේ තුන්වැනි සැකකරු වන අදාළ බැංකුවේ ණය කළමනාකරු ලෙස කටයුතු කළ තැනැත්තාට රුපියල් ලක්ෂ 30 දක්වා ණය අනුමත කළ හැකි වෙනවා. එම නිසා අදාළ සැකකරු රුපියල් ලක්ෂ 29, 28 වැනි ආකාරයේ රුපියල් ලක්ෂ 30 ට අඩුවෙන් ණය අනුමත කර තිබෙනවා.
නමුත් 03 වන සැකකරුට අදාළ බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයේ සහයෝගයක් නොමැතිව මෙම වංචාවන් කළ නොහැකියි. එම නිසා අදාළ රාජ්‍ය බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය සිටින පිරිසක් ගැනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කරනවා. එම පුද්ගලයන් කුමන තරාතිරමක රැකියාව කළත් වරදක් අනාවරණය වන්නේ නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා.
රටේ මිනිසුන්ගේ රුපියල් ලක්ෂ 1800 ක් මෙහෙම හොරකම් කරන්න ඉඩ දෙන්න බැහැ. මෙම සිද්ධිය පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් පරිදි පුළුල් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පවත්වන විට දැන් ගොඩක් අය කලබල වෙලා තියෙනවා.
මෙම නඩුවේ 04 වැනි සැකකාරිය වන හානිකා ප්‍රියදර්ශනී නමැත්තිය විසින් ජාතික හැඳුනුම්පත් 02 ක් සකස් කර තිබෙනවා. එම සැකකාරිය ක්‍රිබ් එකට යෑම නිසා වෙනත් ජාතික හැඳුනුම්පතක් සකස්කර ණය අයැදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. සමහරු කූට ලේඛන සකස් කරලා. ඒවා භාවිත කරලා රටිනුත් පැනලා ගිහිල්ලා තියෙනවා.
මෙම නඩුවෙ 02 වැනි සැකකරු වන ජයසූරිය මුදියන්සේලාගේ ධර්මකීර්ති නමැත්තා කටාර් රාජ්‍යයේ සිට ලංකාවට ඒමේදී අත්අඩංගුවට ගත්තා. නඩුවේ 05 වැනි සැකකරු වන රාජරත්නම් නිරෝෂන් නමැත්තා කටාර් රාජ්‍යය වෙත යෑමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත්තා. ඔවුන්ට එරෙහිව විදෙස් ගමන් තහනම් නියෝග ගෙන තිබූ නිසා එලෙස අත්අඩංගුවට ගත්තා. ඔවුන් ණය ගැනීම සඳහා කූට ලේඛන සකස් කර තිබෙනවා.
මෙහෙම රටේ මිනිසුන්ගේ සල්ලි සමග සෙල්ලම් කරන්න ඉඩ දෙන්න බැහැ. එම නිසා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඔවුන් සියලු දෙනා රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටිනවා.”
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කිංස්ලි හෙට්ටිආරච්චි, තරිඳු වික්‍රමනායක ඇතුළු නීතිඥවරුන් තම සේවාදායකයන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.
සැකකරුවන් 05 දෙනා ලබන මස 13 වන දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය, එදිනට සැකකරුවන් සම්බන්ධයෙන් අනාවරණ වී ඇති සාක්ෂි පිළිබඳ සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

