බොස්ටන් අපි දැක්ක අතුරුදහන් කර නොහැකිවූ ආදරය

z_p23-Government
“බොස්ටන් අපි දැක්ක

අතුරුදහන් කර නොහැකිවූ ආදරය

කණමැදිරි එළියෙනුත් බැබලෙනවා ජනාධිපතිතුමනි “
අතුරුදහන් කරවීම මානව වර්ගයාට එරෙහි අපරාධයක්.1989 ඉදලා අතුරුදහන්වූවන් ගැන කතා කරනවා. ඒ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව. වසර 30කට පසු අතුරුදහන්වූවන් වෙනුවෙන් පොරොන්දු කිහිපයක් ලබා දෙමින් ඒවා යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වුවත් එකී ක්‍රියාත්මක වන යාන්ත්‍රණයේ ඇති මන්දගාමීත්වය පිළිබදව අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සිය කණගාටුව පළ කරනවා. ඒ අනුව ඔවුන් ප්‍රකාශ කරන්නේ බලයට පැමිණෙන කවුරුන්හෝ අතුරුදහන්වූවන්ගේ පොරොන්දු මඟ නොහැර ඉටු කිරීමට පොරොන්දු විය යුතු බවට.
z_p-27-Holding
අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව, අතුරුදහන් පවුල්වල පිරිස් සමග එක්ව ඉහත තේමාව යටතේ මහජනතාව දැනුවත් කිරීමේ සිව්දින වැඩසටහනක් පසුගියදා දියත් කර තිබෙනවා. මෙහිදී යහපාලන රජය අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් දුන් පොරොන්දු මොනවාද? සත්‍ය, යුක්තිය, හානිපූරණය සහ නැවත සිදුනොවීම වෙනුවෙන් මෙතෙක් ගෙන ඇති පියවරයන් මොනවාද? යෝජිත රු. 6000ක මාසික දීමනාව ලැබෙන්නේ කාටද? ආණ්ඩුවේ පොරොන්දු, ඉදිරි මැතිවරණවලදී ජයග‍්‍රහණය කරන අපේක්ෂකයන් ලවා ඉටු කරවා ගැනීම වෙනුවෙන් අප කළ යුත්තේ කුමක්ද? යන ප‍්‍රධාන කාරණා ගණනාවක් සාකච්ජා කර තිබෙන අතර මෙහිදී ඔවුන්ගේ වැඩි අවධානය යොමු වන්නේ  තමන්ට පොරොන්දුවූ වන්දි මුදල ලබා දීමට රජය පියවර ගත යුතුයි යන්නයි.
SRI_LANKA_-_1109_-_Defunti_(600_x_426)
කෙනෙක්ට මෙය විවිධ අයුරින් තර්ක කරන්න පුළුවන්. නමුත් ඔවුන් ඉල්ලන්නේ 6000ක කුඩා මුදලක්. අද දවසේදී රු. 6000 කින් මොනා කර ගත හැකිද යන්නත් ප්‍රශ්නයක්. තත්වය එසේ වෙද්දීත් ඔබෙත් මගෙත් තර්ක විතර්ක සාධාරණ විය යුතුයි නේද ?  වසර 30ක් පුරාවටම ඔවුන් තවමත් අසරණයි. මෙතෙක් කාලයක් තම ආදරනියන් වෙනුවෙන් ඔවුන් අඩනවා. නමුත් ඒ සෝසුසුම් සුළගට පාවී යන හිස් සුස්මක් බවට පමණක්ම පත් වෙලා. ගෙවී ගිය කාලයේදී ඔවුන්ට අහිමි වූයේ තම ආදරණිය පුතා හෝ සැමියා පමණක් නොවෙයි. ඔවුන්ට එකී හිස් අවකාශය පුරවාගත නොහැකි වීමම මහා අපරාධයක් වෙමින් ඔවුන්ගේ මුළු ජීවිතේම ගරා වැටුණු අගාධයකට ඇද දමලා. ඔවුන්ගේ ජිවිත , සුන්විසුණු වූ ඔවුන්ගේ දරුවන්ගේ අනාගතයකුත් ඒ හිස් අවකාශය තුළ තියෙනවා. මේවා කෙසේ මිළ කල හැකිද යන්න ප්‍රශ්නාර්ථයක්. සියල්ල දේශපාලනය හරහා තීන්දු තීරණ වන සමයක අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව එජාපයේ බළල් අතක් යන්නද Boston අපි එහි සභාපතිවරයාගෙන් විමසුවා. බ්‍රිටෝ ප්‍රනාන්දු  උත්තර දුන්නේ මෙහෙම , ” අපි මේකට වසර 30ක් අරගල කළා. නමුත් පොඩි පොරොන්දුවක් හරි ලැබුනේ වතමන් රජයෙන්. එදා අපි පෙළපාලි යනකොට අපිට ගහපු පොලිසියේ ලොක්කෙක් ආණ්ඩුව මාරු වුනාට පස්සේ අපි නැවත පෙළපාලි යනකොට අහනවා එයාගෙන් මොනාද වෙන්න ඕන කියලා. එකෙන්ම පේනවා අපේ අරමුණු ඉටුකරවා ගැනීමට දේශපාලනය කෙතරම් වැදගත්ද කියලා..ඒවගේම දුන් පොරොන්දු ඉටු කරවා ගැනීමට වත්මන් රජය ගත් උත්සාහය අපි අගයනවා වගේම මෙකි යාන්ත්‍රණයේ ඇති මන්දගාමීත්වය ගැන කනගාටුවකුත් තියෙනවා.  අපිට පාටක් පක්ෂයක් නැහැ. මගේ පවුලේ හෝ අතුරුදහන්වූ එකතුවේ කාර්ය මණ්ඩලයේ කිසිවකුගේ කිසිවෙක් අතුරුදහන් වෙලා නැහැ. මේක පුද්ගලික සටනක් නෙමෙයි. අපිට ඕන අතුරුදහන්වුවන්ගේ අරමුණු ඉටුකරවා ගැනීමයි.
dhraman250705.
ඒ නිසාම ඔවුන් එකතු වී නැවත කතා බහක් ඇති කරමින් ඉරිදී අපේක්ෂකයාට ඔවුන්ගේ අරමුණු මෙසේ ඉදිරිපත් කර තිබුනේ ඉදිරිය ගැන හරි තවත් එක් බලාපොරොත්තුවක් තබමින්. යන්න එන්න පයේ ගතේ වාරු නැති වූ අම්මලා තාත්තලා බෙහෙත් බිබී තවමත් මෙම අරගලයේ නියැලෙන්නේ හිතේ ඇති දිරියෙන්. ” මගේ එකම පුතා, කිසිම දේශපාලයනක් කළේ නැහැ.” ඒ අම්මගේ කතාව වචනයකට දෙකකට සිමාඅ වුණේ කියා ගත නොහැකිව. ඉකිගසන හඩුමත් කදුළින් තෙත් වල ලේන්සුවත් මම අසන්න ගිය බොහෝ දේට තිත තැබුවා. වසර 30ක්  මේ දුක මෙහෙන්මමයි. සමහර පවුල් වල සියළුම සාමාජිකයින් අහිමිවී ගොසිණි. සමහර අම්මලා ගැබ්බර සිය දියණිවරුන්ගේ ගැබ පලා නූපන් දරුවාට කරුම උරුම කර දෙන අයුරු ඇස් දෙකෙන් දැක තිබුණා. ඒ අතරතුර කාන්තාවත් දුෂණය වෙලා. ස්වාමියා අතුරුදහන්වීමෙන් අසරණවූ කාන්තාවන් බොහොමයි. මේ කදුළු කතා තනිවූ ගැහැණුන්ට ආදර්ශයක් .
Disap
පාපිතර 1976 තරුණ නැගිටීම 1983 කළු ජූලිය මෙන්ම 1987 සහ 1990 දක්වා මෙරට සිදුවූ අතුරුදහන් කරවීම සබන්දයෙන් සන්නද්ධ කණ්ඩායම් මෙන්ම දේශපාලන පක්ෂද විවිධ චෝදනා ලැබූ බව අප අමුතුවෙන් මතක් කල දිය යුතු නැහැ. මෙවන් පසුබිමක බිහිවන අතුරුදහන්වුවන්ගේ සංගමය වසර 29ක් පුරාවට ඔක්තෝම්බර් 27 වනදා අතුරුදහන්වූවන් සමරනවා , සීදුව රද්දොළුව අතුරුදහන්වුවන්ගේ ස්මාරකය අභියසදී. මෘත ශරීරයක් නොදැකපු, අළු බදුනක් නැති, අඩන්නට තැනක් නැති, භූමිදානය කරලු සොහොනක් නැති ඔවුන්ගේ එකම වත්කම අතුරුදහන් වුවන්ගේ ජායරුපයයි. එය අතැතිව ඔවුන්ට වසරක් පාසා හඩන්නට ඇති එකම තැන මෙතැනයි. මෙවරත් 29වන වරට ඔක්තෝම්බර් 27 වනදා අතුරුදහන්වුවන් සිහිකිරීමේ වාර්ෂික සැමරුම පැවැත්වෙනවා. Boston සුදානම් එදිනදී අපි දකින අපි අසන දේ ඔබත් සමගත් බෙදා ගන්නට.
ඔබටත් යන එනකොට මෙකී පවුල් වල අය හමුවෙලා ඇති. එතකොට ඔවුන් මුනිච්චාවට හිනා වෙලාත් ඇති. මාත් ඒ අත්දැකීමට මුහුණ දෙනවා. කතාව අහනකොට අඩන ඔවුන් දුටු මුල් වෙලේ මාත් එක්ක ලස්සනට හිනා වුණා. එතකොටයි මට තේරුණේ සමහර අයගේ සිනහවේ සැගවුණු කියාගන්න බැරි ලොකු වේදනාවකුත් තියෙනවා කියලා. සියල්ල හමුවේ නොඇසුනා සේ සිටින දේශපාලනයට අපි කියන්නට උත්සහ කරන්නේ කාගේ කාගේත් කිල්ලෝට වල හුණු පොඩ්ඩක් හෝ ඇති බැවින් මේවාට තවත් කල් නොයවා විසදුම් ලබා දෙන ලෙසට. සෑම වේදනාවක්ම පාඩමක් උගන්වනවා ඒ උගත් පාඩම් වලින් මිනිස්සු වෙනස් වෙනවා කියලා කතාවක්තියෙනවා . ඒත් දෙයියගේ මේ අයගේ දුකෙන් ඔවුන් වෙනස් වෙලා නැහැ. ඒ දුක ඔවුන්ව ජිවත් කරවනවා, අනාගත බලාපොරොත්තුවක් වෙනුවෙන්. ජිවිත කාලෙටම මේ මව් පියවරුන් අතේ සතේ නැතුව ගතේ වාරු නැතුව මැරී මැරී ජිවත් වේවී. හදන්න බැරි අතීතයක් තිබුනත්, පුරවන්න බැරි අඩුවක් තිබුණත්, මේ මිනිසුන්ගේ ඉදිරිය ගැනවත් හිතලා මේ දුකට පිහිට වෙන්න බැරි කෙහෙල්මල් රජයවල් මොකටද? අතුරුදහන්කර නොහැකිවූ ආදරය කණමැදිරි එළියෙනුත් බැබලෙනවා ජනාධිපතිතුමනි …
1989 භීෂණයේදී විජයදාස පතිරණ , වාසුදේව නානායක්කාර , මහින්ද රාජපක්ෂ වැන්නන්ගේ නායකත්වයෙන්
කළ උද්ගෝෂණ නිසා එජාප රජය පරාජ වෙනවා . අද රාජපක්ෂවරුන් මේවා ප්‍රතික්ෂේප කරනවා. එජාපය නොඇසුණා සේ ඉන්නවා. ජවිපෙ පොඩ්ඩක් කතා කරනවා. මෙරට නොවූවිරූ සේ ජනාධිපති අපේක්ෂකයින් 35ක් කරළියක වේදිකා ගත වෙනවා. කරුමෙකට ඉන් කෙනෙක්වත් මේවා කතා කරන්නේ නැහැ. අතුරුදහන්වූ පවුල් එකතුවේ සාමාජිකයන් 60,000 ඉක්ම වනවා. ඒ අනුව පරම්පරා කිහිපයක් මේවන විට එකතු වෙලා. එතකොට මේ පවුල් වල ජන්ද ලක්ෂ ගණනක් තියෙන බව අමුතුවෙන් ගණන් හදා පේනවා දිය යුතු නැහැනෙ. මෙවර මහජන දැනුවත් කිරීමේ වැඩසටහනට අතුරුදහන්වූ පවුල් වල නව සාමාජිකයන්ද එකතුවී තිබීම විශේෂත්වයක්. ඔවුන් තවමත් තම ආදරණියන් පැමිණෙතැයි අපේක්ෂාවෙන් තවමත් ජීවත් වෙනවා. තම අදරණියන්ට සිදුවුයේ කුමක්ද යන සත්‍ය දැන ගැනීමත් වරදකරුවන්ට දඩුවම් ලබා දීමත්  අතුරුදහන්වූ පනත සම්මත කර ගැනීමත් ඔවුන්ගේ අනෙක් බලාපොරොත්තු අතර වෙනවා. ඒවගේම අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව ඉදිරියේදී මෙම අරමුණු ඉටුකර ගැනීමට උදෙසා තිස් වසරක් පුරාවටම බැදී හිදිමින් මේ දක්වාද ඉදිරියේදීද ක්‍රියාත්මක වීමට සුදානම් බව එම සංගමයේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පවසනවා
ඔබෙත් මගෙත් පවුලේ අපිට මේවන අත්දැකීමක් නැහැ. අපි මේක ලියන්නේ, කතා කරන්නේ අපිට ඇති දේශපාලන දැක්මක් සමාජ ගත කරන්නත් නොවෙයි. ඒ මෙහෙම දෙයක් වෙනකොට දැනෙන දුක අපිත් හොදින් දන්නා නිසා. එවන් කළු අත්දැකීම්  හතුරෙක්ටවත් නොම වේවායි අපි ප්‍රර්ථනා කරනවා. ගෙවුණු තප්පරයක් , කියපු වචනයක් , කැඩුණු විශ්වාසයක් , නැවත කිසිදා ආපස්සට ගන්න බැරි බව මතක් කරමින් ඉදිරියේදී මෙවන් දේ නොම වෙන්නට බුද්ධියෙන් විමසා වගකීමේ ඔබගේ කතිරය සටහන් කරන ලෙසටත් අපි ඔබට මතක් කරනවා.
By Ashanthi Warunasuriya