හිටපු නාවික හමුදාපති ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් කොමිසම විසින් අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සුදුසුකම් නොමැතිව නාවික හමුදාවට බඳවාගැනීම සම්බන්ධයෙන් කරන විමර්ශනයට අදාළවය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරුණු අතර ඔහුට විදේශ ගමන් තහනමක්ද පනවා තිබේ.
නියමිත සුදුසුකම් සපුරා නොතිබියදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක ශිෂ්‍යභට අංශයට නිලධාරීයෙකු ලෙස බඳවා ගැනීම සහ එතෙක් පැවති ක්‍රියාපටිපාටියෙන් පරිබාහිරව ඔහු බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා යොමුකිරීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ වන විට විමර්ශනයක් සිදු කරයි.
එහි පළමු සැකකරු ලෙස පසුගිය ජුනි 17 වනදා අත්අඩංගුවට ගැනුණු යෝෂිත රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැරිණි.
එම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු නාවික හමුදාපති ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් කොමිසමට අද (03) කැඳවා තිබුණි.
ප්‍රකාශ ලබාගැනීමෙන් පසු එම කොමිසම විසින් හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර අල්ලස් කොමිසම වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්යක්ෂ රුවිනි වික්‍රමසිංහ මහත්මිය අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළාය.
“ස්වාමිනි, සුදුසුකම් ඇති ඉල්ලුම්කරුවන්ට අවස්ථාව අහිමිකරමින් සුදුසුකම් නොමැතිව යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගැනීම සම්බන්ධයෙනුයි මෙම පැමිණිල්ල. නාවික නිලධාරීන් සඳහා බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පවත්වන පුහුණු පාඨමාලාවක් සඳහා සිවිල් පුරවැසියෙක් විදිහට සිටි යෝෂිත රාජපක්ෂගේ නම යොමු කරලා තියෙන්නේ මේ සැකකරු. ඔහු එවකට නාවික හමුදාපතිවරයා. යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගන්න ලහිලහියේ කටයුතු සුදානම් වෙද්දි මොහු අවස්ථා දෙකකදී යෝෂිත රාජපක්ෂ බඳවාගැනීමට නියමිත අංශය වූ විධායක ශිෂ්‍යභට අංශයේ බඳවාගැනීමේ සුදුසුකම් නිර්ණායක වෙනස් කරලා තියෙනවා. සෙසු අයදුම්කරුවන්ගේ අධ්‍යාපන සහතිකපත් අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කිරීමට විභාග දෙපාර්තමේන්තුවට යැව්වාට යෝෂිත රාජපක්ෂගේ අධ්‍යාපන සහතිකපත් එලෙස යවා නැහැ. පළමු අවස්ථා සුදුසුකම් වෙනස් කර පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් පසුවද, අවම සුදුසුකමක් වූ සාමාන්‍ය පෙළ සිංහල විෂයට සම්මාන සාමාර්ථයක් තිබිය යුතු වීමේ සුදුසුකම යෝෂිත රාජපක්ෂට තිබී නැහැ. ඔහුට තිබී ඇත්තේ සිංහල විෂයට සාමාන්‍ය සාමාර්ථයක් නැතිනම් S සාමාර්ථයක්. පසුව දෙවන වරටත් මෙම සැකකරු යෝෂිත රාජපක්ෂ බඳවාගැනීමට හැකිවන සේ ඔහුගේ සුදුසුකම්වලට සරිලන ලෙස බඳවාගැනීමේ සුදුසුකම් වෙනස්කර තිබෙනවා.”
මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා පැමිණිල්ලෙන් සැකකරුට අප ලබාදීමට පැමිණිල්ල විරුද්ධදැයි මෙසේ විමසා සිටියේය.
” සිද්ධිමය කරුණු බැලුවාම වරදක් වී ඇති බවට සාධාරණ සැකයක් මතුවන කරුණු ඇතැයි පැහැදිලියි. මේ අවස්ථාවේ ප්‍රශ්නගතවෙලා තියෙන්නේ ඇප සම්බන්ධයෙන්. සැකකරුට ඇප ලබාදීමට පැමිණිල්ල විරුද්ධද?”
ඊට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ නිලධාරිනිය, විමර්ශන අවසන් අදියරේ පවතින බවත්, ප්‍රකාශ කිහිපයක් සටහන් කිරීමට නියමිත බැවින් එතෙක් සැකකරුට ඇප ලබාදීමට විරුද්ධ බවත් සඳහන් කළේය.
එහිදී සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇප අයැද සිටියේය.
“ස්වාමිනි, එවකට යුද්ධය පැවති සමයේ සීමිත පිරිසක් හමුදාවට බැඳුණේ. බඳවාගැනීම් වැඩිකරන්න ආරක්ෂක කවුන්සිලයෙන් තීරණය කළා. යුද හමුදාවට 50,000ක්, නාවික හමුදාවට 25,000ක් සහ ගුවන් හමුදාවට 15,000ක් බඳවාගත්තා. රටේ ජනාධිපතිවරයාගේ පුතා හමුදාවට බැඳෙන එක අනෙක් දෙමව්පියන්ට තම දරුවන් හමුදාවට බැඳෙන්න උත්තේජනයක් සපයන නිසයි මේ බඳවාගැනීම සිද්ධවුණේ. මේ සැකකරු විවාහකයි. ඔහුට දරුවන් නැහැ. ඔහුගේ බිරිඳ දැඩි ලෙස අසාධ්‍යව රෝගිව ඉන්නේ. මොහු රිමාන්ඩ් කළොත් ඇයව බලාගන්න පවුලේ කවුරුත් නැති වෙනවා. එබැවින් මොහු ඇපමත මුදා හරින්න කියලා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. “
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සැකකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට නියෝග කළේය.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කෙරුණු අතර නීති කෘත්‍ය එළඹෙන අගෝස්තු 04 වැනිදා යළි කැඳවීමට නියමිතය.

