මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු කාලසීමාව තුළ විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රවාහන නිලධාරීන් සඳහන් කළේ හෙට (09) සිට බස් සහ දුම්රිය විශේෂ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා පැවසුවේ හෙට සිට 13 වනදා දක්වා කොළඹින් බැහැරට යාමට සහ 15 වෙනිදා සිට 21 වෙනිදා දක්වා කොළඹට පැමිණීමට බස් රථ යොදවා ඇති බවය.
“අප්‍රේල් 09 වෙනිදා සිට අප්‍රේල් 21 වෙනිදා දක්වා පැවැත්වෙනවා. අප්‍රේල් 9, 10, 11, 12, 13 හවස දක්වා කොළඹින් එළියට ප්‍රවාහනය කරනවා. ඊට පස්සේ 15, 16, 17, 18, 19 , 20 , 21 දක්වා ගම් බිම් වලින් ආපසු නැවත කොළඹ දක්වා ප්‍රවාහනයට බලාපොරොත්තු වෙනවා. මේ දවස් ටිකේ මගී ජන ගහනය ලක්ෂ දෙකහාමාරක් විතර අවුරුදු උත්සව කාලය තුළ දැක ගන්නට පුළුවන්. ඒ නිසා අපි අමතර බස් සේවාවන් 1500ක් පමණ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. “
එහිදි අදහස් දැක්වූ ආචාර්ය ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ විශේෂයෙන්ම මගීන්ට සුවපහසු ආරක්ෂිත ප්‍රවාහන සේවාවක් ලබා සඳහා කටයුතු කර ඇති බව.
ඒ සඳහා පොලීසියේ සහාය ද ලබාගෙන තිබේ.
විශේෂයෙන්ම කොළඹ බැස්ටියන් මාවත බස් පරියන්තය මාකුඹුර, කඩවත, කඩුවෙල බස් පර්යන්තවල සිට අන්තර් පළාත් බස් සේවාවන් ක්‍රයාත්මක වන අතර බැස්ටියන් මාවත බස් පර්යන්තයේ පානීය බල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් සහ සෞඛ්‍ය පහසුකම් සලසා ඇති බවය.
මේ අතර එහිදී අදහස් දැක්වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනා ගමන අධිකාරි අසංක සමරසිංහ මහතා පැවුසුවේ මගීන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය ගමන්වාර ද සැලසුම් කර ඇති බවය.

