කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (01) දිනයේ දී ඒකක 19,914.25 ක් දක්වා ඉහළ යන ලදී. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 271.77 ක හෙවත් 1.38%ක වැඩිවීමක් වේ. ඒ අනුව ඒකක විසිදහසේ මංසළකුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අද දිනයේ මෙම වර්ධනය ඉහළ දායකත්වයක් ලබා දී ඇත. විශේලේෂකයින් පවසන්නේ බොහෝදුරට මීළඟ ගනුදෙනු දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,000 සීමාව ඉක්මවා යනු ඇති බවයි.
මේ අතර S&P SL20 අද දිනයේ දී ඒකක 132.58 ක හෙවත් 2.30% ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය. දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 5,894.75 ක් ලෙසින් ඒ අනුව වාර්තා වී තිබුණි.
අද දින රු. බිලියන 7.36 ක සාපේක්ෂව ඉහළ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.
බැංකු සමාගම් රැසකම කොටස් මිල ගණන් දිනය තුළ කැපීපෙනෙන අයුරින් ඉහළ ගිය අතර එහිදී HNB, කොමර්ෂල්, DFCC හා NDB යන බැංකු සමාගම්වලින් සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිල ඉහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දෙන්නට සමත්ව තිබුණි.

