6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ අවුල්සහගත පිටුව ගලවා ඉතිරිය බෙදීමේ යෝජනාවක්….

News Iamges.00_00_00_03.Still1244

ආන්දෝලනයට තුඩුදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂයේ මොඩියුලය මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 61කට ආසන්න මුදලක් වියදම් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

එබැවින් එය යළි මුද්‍රණය කරනවාද, නැතිනම් වියදම අවම විකල්ප ක්‍රියාමාර්ගයකට යොමුවනවාද යන්න පිළිබඳ මේ වනවිට අවධානය යොමු වී ඇති බව අප කළ විමසීමකදී අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදි අනුගමනය කළ හැකි එක් විකල්පයක් ලෙස අදාළ මොඩියුලයේ ප්‍රශ්නගත පිටුව ඉවත්කර බෙදාහැරීම කෙරෙහිද අවධානය යොමු වී ඇති බව කලුවැව මහතා වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර වත්මන් ආණ්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල පැවැත්වෙන වේලාව මිනිත්තු 30කින් දීර්ඝ කිරීම 2026 වසරේ සිට ක්‍රියාත්මක වන බව දැනුම්දී තිබුණ ද අධ්‍යාපන අමාත්‍යාංශය අද (02) නිවේදනය කළේ පාසල් පවත්වන වේලාව දීර්ඝ කිරීම ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බවය.

රට තුළ උද්ගතවූ ආපදා තත්ත්වය නිසා පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති හානි සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2026 වසරේ ද 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් පවත්වන කාලය පෙ.ව. 7.30 සිට පස්වරු 1.30 දක්වා නොවෙනස්ව පවතිනු ඇත.

2026 පළමු වාරය සඳහා රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් ජනවාරි 05වන දින ආරම්භ කිරීමට නියමිතය.

එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙම වසරේදී 1 ශ්‍රේණියට සහ 6 ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත.

ඒ යටතේ 6 ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු විධිමත් ලෙස ආරම්භ කිරීම ජනවාරි 21වැනිදා සිදුකෙරෙනු ඇත.

පළමු ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනාගැනීම ජනවාරි 05 වැනිදා ආරම්භ වන අතර විධිමත් ලෙස අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම ජනවාරි 29 වනදා ද සිදුකිරීමට නියමිතය.

ඒ අනුව පළමු ශ්‍රේණියට සහ 6 ශ්‍රේණියට අදාළ ඉගෙනුම් මොඩියුල එම ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට පෙර සිසුන්ට බෙදාදී අවසන් කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

මේ අතර දිට්වා සුළි කුණාටුව නිසා අතරමඟ නැවතුණු 2025 උසස්පෙළ විභාගයේ ඉතිරි අදියර මෙම වසරේ ජනවාරි 12 සිට 20 දක්වා පැවැත්වෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.