ජිනීවා මානව හිමිකම් මහ කොමසාරිස් ලංකාවට ආවේ, කොටි හිතවාදීන් මුණ ගැසීමට – විමල්

wimal-weerawansa-media-esana

මෙරටට පැමිණ සිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් හමු‍වූයේ LTTE බෙදුම්වාදී ත්‍රස්තවාදය හා එම මතවාදය සමඟ තවදුරටත් කටයුතු කරන කොටස් පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඒ අනුව, ඔහුව හමුවිම සඳහා මෙරට යුද්ධය අවසන් කිරීමට දායකත්වය ලබාදුන්, විවිධ හේතූන් මත රටවල්වලට ඇතුළුවීම තහනම් කර ඇති ආරක්ෂක හමුදාවල ප්‍රධානීන් ඉල්ලීම් කර තිබූ බවත්, නමුත් ඔහුව හමුවීම සඳහා අවස්ථාවක් නොලැබුණු බවයි අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ලංකාවට පැමිණියේ කොටි හිතවාදීන් මුණ ගැසී, කොටි හිතවාදීන්ගේ වුවමනාව මත සකස් කරන ලද වාර්තාවකට ශ්‍රී ලංකාව හිර කිරීමේ අරමුණින් බවද ඔහු ප්‍රකාශ කළා.

ශ්‍රි ලංකාවට සාමය දිනාදුන් ආරක්ෂක හමුදා රණවිරුවන් හා ප්‍රධානීන් ගොදුරු කර ගැනීමේ ක්‍රියාන්විතයේ තීරණාත්මක පිම්ම පැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ලංකාවට පැමිණි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.