චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත මේ දිනවල චීනයේ සංචාරයක නිරත වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිස, චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී එහි ප්‍රධානියා වන Liu Jianchao ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය කිසිවෙකුටත් පලුදු කළ නොහැකි බවත්, එම මිත්‍රත්වය පලුදු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවයි Liu Jianchao අවධාරණය කර තිබෙන්නේ.
රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම විටෙක සහාය ලබාදීමට චීනය සූදානම් බවද, කිසිදු රටක ස්වෛරීභාවයට හානිවන අකාරයේ ක්‍රියා මාර්ගවලට චීනය සූදානම් නැති බවද ඔහු සඳහන් කර තිබෙනවා.
චීනය සහ ලංකාව අතරත්, ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින මිත්‍රත්වය මෙම වසරේ මුලදී සිදු කෙරුණු ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංචාරයේදී තව දුරටත් වර්ධනය වූ බවත්, එමෙන්ම තමන් ඇතුළු පිරිස සිදු කරන මෙම සංචාරයේදී එම මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වන බවයි එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කර ඇත්තේ.