ගැරඬිඇල්ල අනතුරට හේතු වී ඇත්තේ අධික තෙහෙට්ටුව මත රියදුරුට ඇතිවූ නිදිමත ස්වභාවය බව අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
කෙසේ නමුත් මෙහිදී අනතුර සම්බන්ධයෙන් කිසිඳු වගකීමක් එම රියදුරුට පැවරීමක් සිදු නොකරන බවයි අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.
අනතුරට හේතුව සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක් විසින් සිදුකළ පරික්ෂාවේදී අදාළ බස් රථයේ කිසිඳු දෝෂයක් නොතිබූ බවට සඳහන් කර තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරු විසින් කිසිඳු මත්ද්‍රව්‍යයක් භාවිතා කර නොතිබුණු බවටත්, ඔහුට හෘදයාබාධයක් වැළඳී නොතිබූ බවටත් රියදුරුගේ මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර ඇති බවත් ඔහු සඳහන් කළා.
රාත්‍රී 10.00 ට කතරගම ඩිපෝවෙන් පිටත්වන බස් රථයේ දිනක සම්පූර්ණ ගමන් කාලය පැය නවය හමාරක් පමණ වන අතර, බස් රථයේ කොන්දොස්තරගේ සහ රියදුරුගේ දිනක සේවා කාලය පැය දහතුන හමාරක් පමණ වන බවට නිරීක්ෂණය වූ බවත්, ඒ අනුව අනතුරට හේතුව ලෙස නිරීක්ෂණය වන්නේ රියදුරාට ඇතිවූ තෙහෙට්ටුව හේතුවෙන් නින්ද යාම නිසා බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.
මාර්ගයේ ගමන් කිරීම සඳහා නීතියේ ආකාරයට ගමනාගමන කොමිෂන් සභාවෙන් නිසි අවසරයක් ලබා නොගැනීම නිසා මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ හිමිකාරීත්වය දරන ජාතික ගමනාගමන මණ්ඩලයට එරෙහිව නඩු පැවරීමට සිය වාර්තාව මඟින් නිර්දේශ කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා සිටියා.
එසේම, අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයේ යකඩ වැට, කොන්ක්‍රීට් කණු නොමැතිවීම හා මාර්ග ආලෝකකරණය නොමැති වීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට ද නඩු පැවරීමට නිර්දේශ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.