කිසිම දෙයක් හොරකම් නොකරපු මහින්දගෙන් අනුර කුමාර මැතිතුමා සමාව ගන්න – සාගර

sagara-kariyawasam-nn

රත්‍රං වැසිකිලි, රත්‍රං අශ්වයින් සිටි බවට සඳහන් කළ චෝදනා බොරුවක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

එම බොරුවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින්ට කිසිඳු සම්බන්ධයක් නොමැති බවත්, එය දිනෙන් දින ඔප්පු වෙමින් පවතින බවයි අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා සඳහන් කළේ.

අනුර කුමාර ජනාධිපතිවරයා ළඟ තිබෙන බවට සඳහන් කළ ෆයිල් මිටිය කවුරුන් හෝ පැහැර ගත්තාදැයි ඔහුගෙන් විමසා සිටින බවද, ඔහු ජනාධිපති ධුරයට පත්වී මාස හතකට වැඩි කාලයක් ඉක්මවා ගොස් ඇතත්, එම සිදුකරන ලද කිසිඳු චෝදනාවක් වෙනුවෙන් මෙතෙක් පරික්ෂණයක් හෝ ආරම්භ කර නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

මහින්ද රාජපක්ෂට චීනයෙන් මුදල් ලබාදුන් ගිණුම් අංක පවා අනුර කුමාර ජනාධිපතිවරයා සතුව ඇති බවට ප්‍රකාශ කළ බවත්, එම ගිණුම් අංක අදාළ බලධාරීන්ට ලබාදී නීතිමය වශයෙන් කටයුතු කරන ලෙසත්, එසේ නොවන්නේ නම් මේ රට යුද්ධයෙන් බේරාගත්, කිසිදු දෙයක් සොරකම් නොකරන ලද හිටපු ජනාධිපති මහින්ද රා‍ජපක්ෂගෙන් සමාව ගන්නා ලෙසයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.