‘හෙළ සිනමාවේ නිළි රැජිණ‘ ලෙස විරුදාවලිය ලත්, අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මිය අද (26) පස්වරුවේ දැයෙන් සමුගත්තා.
කොළඹ නිදහස් චතුරස්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා.
කලක් රෝගාතුරව සිටී මාලනී ෆොන්සේකා මහත්මිය පසුගිය සෙනසුරාදා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ අතර, ඇය මිය යන විට 78 වන වියේ පසු වුණා.
1963 වසරේ ‘නොරත රත‘ වේදිකා නාට්‍යයෙන් සිය රංගන දිවිය ආරම්භ කළ මාලනී ෆොන්සේකා මහත්මිය, 1968 වසරේදී තිරගත වූ ‘පුංචි බබා‘ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි අතර, අනතුරුව ගතවූ දශක 06කට ආසන්න කාලය තුළ චිත්‍රපට 150කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී විශිෂ්ට සිනමා නිර්මාණ රැසක් මෙරට සිනමා ක්ෂේත්‍රයට දායාද කිරීමට සමත් වුණා.
නිධානය, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ, අපේක්ෂා, ආකාස කුසුම්, ඇතුළු චිත්‍රපට හරහා සිය රංගන හැකියාව මනාව ප්‍රකට කළ ඇය පිටගම්කාරයෝ, කෙම්මුර, අඹු දරුවෝ ඇතුළු ටෙලි නාට්‍ය රැසක් සඳහාද රංගනයෙන් දායක වුණා.
මාලනී ෆොන්සේකා මහත්මිය අන්තර්ජාතික සිනමාවකදී සම්මානයට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික නිළිය ලෙස සැලකෙන අතර, 1976 වසරේදී 09 වැනි මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේදී ඇය ආචාර්ය ධර්මසේන පතිරාජගේ ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටය වෙනුවෙන් ගෞරව ඩිප්ලෝමා සහතිකය ද දිනාගත්තා.
එසේම, සරසවි, ජනාධිපති, ස්වර්ණ සංඛ, OCIC, සුමති වැනි සිනමා උළෙලවල්වලදී හොඳම නිළිය, ජනප්‍රියම නිළිය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන රැසකට ඇය හිමිකම් කීමට සමත් වුණා.
හෙළ සිනමාවේ නිළි රැජිනියනි, ඔබට නිවන් සුව…!