සත්‍යය වෙනුවෙන් කතා කරපු උතුරේ තරුණයෝත් විරුවෝ – වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන

krishanrtha-parliment

යුද්ධය නැතිවීම යනු සාමය ඇතිවීම නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන පවසනවා.

සත්‍යය, යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් කතා කරන ලද දකුණේ තරුණයන් විරුවන් බවත්, එසේම සත්‍යය හ‍ා යුක්තිය වෙනුවෙන් කතා කරන ලද උතුරේ තරුණයින් ද විරුවන් බවයි අද (21) පාර්ල‍ිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තමන් හට කඳුළු සැලෙන්නේ දකුණේ තරුණයින් මැරෙන විට පමණක් නොවන බවද, උතුරේ තරුණයින් මැරෙන විටද තමන්ට කඳුළු සැලුණු බවද, තම ප්‍රතිපත්තිය වන්නේ එය බවද ඔහු ප්‍රකාශ කළා.

යුද්ධයෙන් විශාල පිරිසක් මියගිය අතර, ඔවුන් අනුස්මරණය කළ යුතු බවත්, උතුරේ තරුණයින් ද මියගොස් ඇති බැවින්, ඔවුන් සැමරීම ද සිදුකළ යුතු බවත්, එහි කිසිඳු වරදක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

ජාතික ජන බලවේගය යනු ජාතිවාදී පක්ෂයක් නොවන බවත්, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 ගේ එක ‘මයිලක්’ හෝ ජාතිවාදී නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.