දැන් කියන්න වෙන්නේ, ලුණුත් නැතුව බත් හැන්දක් කමුකෝ රත්තරං කියලා – ගම්මන්පිල

udaya-gammanpila-1

ජනතාවගේ අවම ආහාරය ලෙස සැලකුවේ ලුණු සහ බත් බවත්, එය නන්දා මාලනිය විසින් ගයන ගීතයක “ලුණුයි, බතුයි කාලා අපි ඉඳිමු රත්තරං” ලෙස ප්‍රකාශ කර ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

නමුත් දැන් ජනතාවට ප්‍රකාශ කිරීමට සිදුව ඇත්තේ “ලුණුත් නැතුව බත් හැන්දක් කමුකෝ රත්තරං” ලෙස බවයි අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වත්මන් ආණ්ඩුව, අවම ආහාරය වන ලුණු හා බත් පවා කෑමට නැති කරන ලද ආණ්ඩුවක් බවද, ගෙදරක ලුණු නැතිවීම ගෙදරට වගතුවක් නොමැති බවට ජනවහරේ ඇති බවද, රටට ලුණු නැතිවීම යනු ආණ්ඩුවෙන් රටට වගතුවක් නැතිවීම බව ආණ්ඩුව විසින්ම ඔප්පු කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

පසුගිය දිනවල නොනවත්වා වර්ෂාව ලැබුණ බව සත්‍ය බවත්, නමුත් නොනවත්වා වර්ෂාව ලැබුණු පළමු අවස්ථාව මෙය නොවන බවත්, 2019 වසර අග සහ 2020 වසර මුල මේ ආකාරයෙන් වර්ෂාව ලැබුණු බවත්, නමුත් ලුණු හිඟයක් නොතිබූ බවත්, එවක තොග කළමණාකරණය නිවැරදිව සිදුවූ බවයි ඔහු සඳහන් කර සිටියේ.

නමුත් මෙවර රජය විසින් ලුණු ආනයනය කිරීමට තීරණය කරන්නේ මැයි 15 වැනිදා බවත්, ඒ රටේ ලුණු හිඟයක් ඇති වී, ජනතාවට එය දැනෙන්නට වූ පසුව බවයි උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රක‍ාශ කළේ.