රුපියල් 1,500ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැලණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
අප්‍රේල් 28 වැනිදා වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය හරහා ගමන්කළ බවට චෝදනා කරමින්, අදාළ පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත සැකකරු විසින් සිය භාරයට ගෙන ඇති අතර, එම හැඳුනුම්පත නැවත ලබාදීම සඳහා රුපියල් 3,000ක අල්ලස් මුදලක් ඉල්ලා තිබෙනවා.
පසුව එම මුදල රුපියල් 1,500ක් දක්වා අඩුකර අල්ලස් ලෙස ලබාගැනීමේ දී, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා අංක 7-8 හි පිහිටි සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂක කාර්යාලය තුළදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.