සබරගමුව සරසවි සිසුවා මියගියේ නවක වදය ලබාදීම නිසාදැයි පොලීසිය විමර්ශන අරඹයි

sabaragamu-stubent

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ගෙල වැලලාගෙන සියදිවි නසාගැනීමට හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීම නිසා බවට සැකකරමින් එම විශ්වවිද්‍යාලයේම තවත් සිසුවෙකු විසින් සමනළ වැව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව මෙම සිසුවාගේ සියදිවි නසාගැනීම සඳහා හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීමද යන්න පිළිබඳව මෙන්ම එසේ නවකවදය ලබාදුන්නේ නම් එම පුද්ගලයන් හඳුනාගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ.

නවකවදය යනු අපරාධමය වරදක් බැවින් යම්කිසි තැනැන්තෙකු නවකවදය ලබාදීම සඳහා සහභාගි වී තිබේ නම් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අනිවාර්යෙන් කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබ යම් සිත් තැවුලකින් පසුවන්නේ නම් 1926 අමතා ජාතික මානසික සෞඛ්‍ය ආයතනය හරහා පැය විසිහතර පුරා ඔබට සහනයක් ලබාගත හැකියි.