මිලියන 77ක වංචාවකට අත්අඩංගුවට ගත් සබරගමුව පළාත් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය හා හිටපු ලේකම් රිමාන්ඩ්

court-2

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සබරගමු පළාත් සභාවේ සහකාර අධ්‍යක්‍ෂකවරියක් සහ සබරගමු පළාත් සභාවේ අමාත්‍යාංශයක හිටපු ලේකම්වරයෙකු ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් නියෝග කර තිබෙනවා.

සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77කට අදාළව අසත්‍ය මිනුම් පත්‍ර සකසා, රුපියල් මිලියන 77ක වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟ හැර සිටි‍ සැකකාර සහකාර අධ්‍යක්‍ෂකවරිය පසුගිය 07 වැනිදා අත්අඩංගුවට ගෙන තිබූ අතර, සබරගමු පළාත් ලේකම්වරයා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට නීතිඥයෙකු මඟින් භාර වී තිබුණා.

එසේම ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ හිටපු කාර්මික නිලධාරිවරයෙක්, ලිපිකරුවකු සහ ලේකම්වරයෙකු ද මීට පෙර මෙම වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවයි පැවසෙන්නේ.

සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77 කට අදාළව මුදල් වෙන්කර ගෙන ඇතත්, ඒ සඳහා මාර්ග හෝ ක්‍රිඩාංගණ ඉදිකර නොතිබීම සම්බන්ධයෙන් සිදුකළ විගණන පරීක්ෂණයකින් මෙම වංචාව හෙළිවී ඇති අතර, 2016 සහ 2017 වර්ෂවලදී මෙම මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77ක් සිදුකර ඇතැයි අසත්‍ය ලේඛන ඉදිරිපත් කර මෙම මූල්‍ය වංචාව සිදුකර ඇතැයි සබරගමු පළාත් සභාව සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.