පානදුර ඩිපෝව ජාතික තලයේ ඩිපෝවක් බවට පත්කිරීම අරමුණයි – චතුරංග

chathuranga-abe

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ තෝරාගත් ඩිපෝ 25ක් සංවර්ධනය කර ජාතික තලයේ ආදර්ශ ඩිපෝවන් බවට පත් කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා.

මෙම ඩිපෝ සංවර්ධනය කර මගී ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම හා ඉහළ ආදායමක් ඉපැයීම මගින් ලාභදායී ආයතන බවට පත්කිරීම එහි අරමුණ බවයි ඊයේ (29) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පානදුර ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වන්නේ ඩිපෝව හරහා සිදුවන ක්‍රියාවලිය, එහි ආදායම් වැඩිකිරීම, වියදම් කළමනාකරණය සහ වෙනත් ආදායම් උත්පාදනය කර ගැනීමට ඇති අවස්ථා සොයා බලා, ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමට මූලික වීම බවද ඔහු ප්‍රකාශ කළා.

පානදුර බස් ඩිපෝව ක්‍රමානුකූලව සංවර්ධිත ඩිපෝවක් ලෙස පරිවර්තනය කරමින්, සමාජීය ප්‍රවාහන අවශ්‍යතාවයේ සාධනීය කොටස්කරුවන් බවට පත්කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදුකෙරෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.