රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී, පසුව ජනාධිපති සමාව ලැබූ ජූඩ් ශ්‍රිමන්ත නැමති විත්තිකරු මේ වන විට සිංගප්පූරුවේ නොමැති බව එරට බලධාරීන් විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙනවා.
රෝයල් පාක් මිනීමැරුම් සිද්ධියේ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට අදාළ පෙත්සමක් අද (29) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.
එම වග උත්තරකරු මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතුවලට අදාළ ප්‍රගතිය විමසා බැලීම සඳහා අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥ සජිත් බණ්ඩාර විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව මෙම වගඋත්තරකරු රැඳී සිටින්නේ කුමන රටක දැයි සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව රජයේ නීතිඥවරයා සඳහන් කළා.
මෙම වගඋත්තරකරු සොයා ගැනීමට ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයිරාජා සඳහන් කළේ.
පෙත්සම යළි ජූලි මස 28 වන දා කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් රජයේ නීතිඥවරයාට නියෝග කර තිබෙනවා.