ඝාතනයක් සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකුට මරණ දඬුවම

court-2

2012 වසරේ මෝදර කෝවිල ආසන්න ප්‍රදේශයේදී 21 හැවිරිදි තරුණයෙකුට පොලු මුගුරුවලින් හා විකට් පොලුවලින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ විත්තිකරුවන් 05 දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් අද (28) මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

එසේම, එම ඝාතන චෝදනාව ඇතුළු චෝදනා 03කට වරදකරුවන් කරනු ලැබූ තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති අතර, එකී වරද සිදුකරන ලද අවස්ථාවේදී එම නඩුවේ දෙවැනි සහ නවවැනි විත්තිකරුවන් වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් වන බැවින්, මහාධිකරණ විනිසුරුවරයා එලෙස ඔවුන් දෙදෙනාට ජීවිතාන්තය දක්වා පමණක් සිර දඬුවම් ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පෙන්වා දුන්නේ, එකී විත්තිකරුවන් සත්දෙනා ඇතුළු නඩුවේ විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා විසින් නම්කර තිබූ විත්තිකරුවන් 09 දෙනාම එකී වරදට වැරදිකරුවන් බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි.

මෙම නඩු විභාගය අතරතුරදී නඩුවේ 04 වැනි විත්තිකරු සහ 06 වැනි විත්තිකරු මියගොස් ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙනවා.