ස්වර්ගස්ථ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය දිව්‍ය පූජාව වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී ආරම්භ වී තිබෙනවා.
වතිකානු වේලාවෙන් උදෑසන 10.00 ට (මෙරට වේලාවෙන් පස්වරු 1.30ට) පමණ අවසන් කටයුතු ආරම්භ වූ අතර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය ශාන්ත පීතර බැසිලිකාවේ සිට ශාන්ත පීතර චතුරශ්‍රය වෙත රැගෙන යනු ලැබුවා.
කාර්දිනල් විද්‍යාලයේ පීඨාධිපති ජියෝවානි බැටිස්ටා රේ කාදිනල්තුමා විසින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය දේව මෙහෙය මෙහෙයවනු ලබනවා.
එරට වේලාවෙන් උදෑසන සිට අගරදගුරුවරුන්, බිෂොප්වරුන්, කතෝලික පූජකවරු ශාන්ත පීතර චතුරශ්‍රයේ රැස්වීමට පටන් ගත් අතර, ඉන් පසුව, විවිධ රටවලින් පැමිණි රාජ්‍ය නායකයින් හා ගෞරවනීය අමුත්තන් පැමිණීමත්, පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමත්, ඉන්පසු අසුන් ගැනීමත් සිදුවුනා.
චාල්ස් රජු වෙනුවෙන් විලියම් කුමරු අවමංගල්‍යයට සහභාගී වන අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, ස්වීඩනයේ කාල් ගුස්ටාෆ් රජු සහ සිල්වියා රැජින, නෝර්වේහි ඔටුන්න හිමි හාකොන් කුමරු සහ ඔටුන්න හිමි මෙට්-මාරිට් කුමරිය, එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර්, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හා අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් ආදී ප්‍රභූවරුන් ඇතුළු 200,000 ක පමණ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වනවා.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින්ම නියම කරන ලද උපදෙස් වලට අනුකූලව, මෙම අවමංගල්‍ය උත්සවය පෙර පාප්වරුන්ගේ අවමංගල්‍ය උත්සවවලට වඩා සරලව සිදු කරන බවයි සඳහන් වන්නේ.
පැය භාගයක් හෝ විනාඩි 45 කාලයකින් අවමංගල්‍ය සභාව අවසන් වන අතර පාප් වහන්සේගේ දේහය රැගත් මන්දගාමී පෙරහැරක් උන්වහන්සේගේ අවසන් විවේක ස්ථානය වන සැන්ටා මාරියා මැගියෝර් බැසිලිකාව වෙත ගමන් කරනු ඇති.