සේවය අත්හිටුවීමට ලක්කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේ විමර්ශනවලට සහාය වීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම්කර එවන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.
මෙම කමිටුව අද (25) පාර්ලිමේන්තුවේදී දෙවැනි වරට රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.
එසේම මෙම කමිටුවට සහායවීමට නීතිපතිවරයා විසින් අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන අය ද නම් කොට තිබෙනවා.
අද දින කමිටුව රැස්වී තවදුරටත් ඉදිරි කටයුතු මෙහෙයවිය යුතු ආකාරය සහ අදාළ පාර්ශ්වයන් සම්බන්ධ කරගත යුතු ආකාරය පිළිබඳ මූලික සාකච්ඡා කර තිබෙන අතර, කමිටුව 28 වැනි දින නැවත රැස්වීමට තීරණය කළ බවයි සඳහන් වන්නේ.