අල්ලස් ලබාගත් ලංගම නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කන්තලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ත්‍රිකුණාමලය – වව්නියාව මාර්ගයේ ධාවනය වූ ත්‍රිකුණාමලය ඩිපෝවට අයත් ලංගම බස් රථයේ මගීන්ගේ ප්‍රවේශ පත්‍ර, පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කළ අවස්ථාවකදී, මගියෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොතිබීම සම්බන්ධව එම බස් රථයේ කොන්දොස්තර වශයෙන් සේවය කළ පැමිණිලිකරුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා, ඔහුගේ වැඩ තහනම් කර තිබෙනවා.

එම විනය පරීක්ෂණයෙන් පැමිණිලිකරුට අගතියක් නොවන පරිදි පරීක්ෂණ කටයුතු අවසන් කර, නැවත සේවය පිහිටුවීමට අදාළ කටයුතු කරදීම සඳහා අල්ලස් ලෙස, ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියා විසින් රුපියල් 100,000 මුදලක් ඉල්ලා ඇති බව පැවසෙනවා.

පසුව එම කාර්යාලයේ ආරක්ෂක නිලධාරියා ලවා එකී මුදල සැකකරු විසින් ඉල්ලා ලබාගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.