අමෙරිකානු තීරුබදු පැනවීමෙන් උද්ගත වන ගැටලුවට පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා රටක් ලෙස එක්ව මුහුණ දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
භූ දේශපාලනයේ මේ මොහොතේ අහිතකර තත්ත්වයක් නිර්මාණයවී ඇති බවත් මෙරට අපනයනවලට යම් බලපෑමක් වෙන තීන්දු තීරණවලට එළැඹී තිබෙන බවයි අද (07) ගාල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
එය විසඳාගැනීම සඳහා උත්සහා සහ සාකච්ඡා කරමින් සිටින බවත් එවැනි අභියෝගයකට මුහුණ දී, අපේ රටේ ආර්ථිකය නැවත අර්බුදකාරී තත්ත්වයකට අත්පත් නොවන ආකාරයෙන් ඊට මුහුණ දෙන්නේ කෙසේදැයි සැලසුම් සකස් කරමින් ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
මෙය අපේක්ෂා නොකරන ලද තත්ත්වයක් බවත් මෙම ප්‍රශ්නයට අපි මුහුණ දියයුතු වන්නේ ජාතියක් ලෙස බවත් එවැනි ප්‍රශ්නයක් ඇතිවීම වැළැක්වීම සඳහා උපරිම මැදිහත් වන අතර එවැනි ප්‍රශ්නයකට මුහුණදීම සඳහා ජාතියක් ලෙස සූදානම් වියයුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.