එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ වන්දි අය කර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව අධිකරණයට දැනුම්දෙයි

express-pearl

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අය කර ගැනීම සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදුකර තිබෙනවා.

නීතිමය මූලධර්මයන්ට අනුව වන්දි අය කර ගත යුත්තේ ඊට වගකිව යුතු නෞකා කාර්ය මණ්ඩලයෙන් හා එය අයත් සමාගමෙන් යැයි පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, එම වන්දි අය කර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

අදාළ නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය හේතුවෙන් පරිසරයට මෙන්ම ධීවර ප්‍රජාවට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කරදෙන නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ.