ඉෂාරාගේ මව සහ සොහොයුරා රඳවා ප්‍රශ්න කරන බව අධිකරණයට දැනුම්දෙයි

court-2

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරියගේ මව වන සේසත්පුර දේවගේ සමන්ති සහ සොහොයුරා වන පිංපුර දේවගේ චමිඳු තිවංක වීරසිංහ යන අය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරුට හා සැකකාරියට මෙම සිද්ධිය පිළිබඳව දැනුවත් භාවයක් තිබූ බවත්, ඔවුන් තොරතුරු වසන් කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

සිද්ධියට පෙර වෙඩික්කරුගේ Messenger ගිණුමෙන් උසාවිය අසල දී “සංජීවට ගහනවා” යනුවෙන් ප්‍රධාන සැකකාරිය සිය සොයුරාට පණිවිඩයක් එවා තිබූ බවත්, වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව “වැඩේ ඉවරයි” යනුවෙන් තවත් පණිවිඩයක් එවා ඇති බවත්, එසේම ප්‍රධාන සැකකාරිය මුදල් හුවමාරු කිරීම සිදු කර ඇත්තේ අත්අඩංගුවට ගෙන තිබෙන සිය මවගේ බැංකු ගිණුම හරහා බවත්, ප්‍රහාරයෙන් පසුව ඇය මීගමුව ප්‍රදේශයේදී රෙදි මිලදී ගෙන ඇත්තේද ඇයගේ මවගේ බැංකු ගිණුම හරහා බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.