සමන්ත මට ඉඳලා හිටලා ඇරලා දානවා, ඒක ප්‍රශ්නයක් නෑ – චාමර

chamara-sampath-dasanayake

ජනාධිපතිවරයා විසින් ලස්සන අයවැයක් ඉදිරිපත් කළ බවත්, ජනාධිපතිවරයා නියමාකාරයෙන් බටර් ගෑමට සමත් වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා.

ඒ අනුව චේතිය රජතුමාගෙන් පසු බටර් ජනාධිපතිවරයෙක් මේ වන විට පත්වී ඇති බවයි අද (18) අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මහපොළ ශිෂ්‍යාධාර මුදල් රුපියල් 2500 කින් වැඩි කළද, එය ප්‍රමාණවත් නොමැති බවත්, වත්මන් රජය බලයට ගෙන ඒමට වැඩිම කැපකිරීමක් කළේ විශ්ව විද්‍යාල සිසුන් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය තුළ හොඳ කාරණා ඇති බවද, වකුගඩු රෝගීන්ගේ දීමනා වැඩි කිරීම, වැඩිහිටි පොලී වැඩි කිරීම හොඳ කාරණා බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මහින්ද රාජපක්ෂ හම්බන්තොටත්, මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවත් සංවර්ධනය කළ බවත්, වත්මන් ජනාධිපතිවරයා අනුරාධපුරට හැරී ඇති බවත්, එය හොඳ කාරණාවක් බවත් ඔහු සඳහන් කළා.

බදුල්ල දිස්ත්‍රික්කයට ද සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා වැඩ කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත් වන බවට සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ “සමන්ත මට ඉඳලා හිටලා ඇරලා දානවා. ඒක ප්‍රශ්නයක් නෑ” යන ලෙසටයි.