රටට ආර්ථික සමාජීය, සංස්කෘතික නිදහස පූර්ණ ලෙස දිනාගැනීමේ මෙහෙයුම තුළ අප සැම එකම අරගල බිමක අරගලකරුවන් – ජනපති

anura-president-2025-inde

නූතන පුරවැසියන් ලෙස අභිමානවත්ව ජීවත්වීමට අවශ්‍ය නිදහස නිර්මාණය කර ගැනීම වෙනුවෙන් එක්ව යා යුතු ගමනක් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

රටට ආර්ථික සාමාජීය හා සංස්කෘතික නිදහස පූර්ණ ලෙස දිනා ගැනීමේ මෙහෙයුම තුළ ඔබ අප සියලු දෙනා එකම අරගල බිමක අරගලකරුවන් වන බව මතක තබා ගත යුතු බවයි නිදහස් දිනයේ ජාතිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ගෝලීය ආර්ථික පද්ධතිය තුළ දුබලයෙකු නොවී ආර්ථික තලය තුළ අපගේ නිදහස සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලු දෙනා එක්ව මාතෘ භූමිය වෙනුවෙන් කැපවිය යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව ආර්ථික නිදහස වෙනුවෙන් සිදුකරන අරගලය තුළ සමාජීය හා සංස්කෘතික නිදහස කිසිඳු ලෙසක දෙවැනි කොට තැකීමට සූදානම් නොමැති බවත් මේ සඳහා  රටේ විවිධ ක්ෂේත්‍රවලට වගකීම් පැවරී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

අනාගත පරපුරට තමා විසින් භාරදෙන රට තමාට ඉතිහාසය විසින් භාරදුන් රට නොව, ජීවත්වීමට ආසා කරන පුරවැසි අභිමානය ගරු කරන දියුණු සංස්කෘතික රටක් වන බවට සපථ කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.