උත්සව සමයේ ආරක්ෂාව වැඩි කිරීමට පොලීසියෙන් පියවර

colombo-city

එළැඹෙන නත්තල් හා අලුත් අවුරුදු උදාවත් සමග මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සුදානම් කර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව බස්නාහිර පළාත තුළ පමණක් ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,500 කට අධික පිරිසක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ.

මේ අතර ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ආගමික ස්ථාන හා කඩසාප්පු ආශ්‍රිතව සිටින සොරුන් සහ අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 500 කට අධික පිරිසක් සේවයට යෙදවීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම කතෝලික දේවස්ථාන ඇතුළු ආගමික ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.