ව්‍යාජ ඇටෝනි බලපත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා ඉදිරිපත් කිරීමට නොවැම්බර් 25 දක්වා කල් ලබාදෙයි

court-2

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් ඉදිරිපත්කර ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 21 ක සමාගම් කොටස් සාපරාධී පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ ලිඛිත විරෝධතා‍ නොවැම්බර් මස 25 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර උදය ගම්මන්පිල අධිකරණය හමුවේ පෙනී සිටි අතර අනෙක් විත්තිකරු වූ සිඩ්නි ජයරත්න අසනීප තත්ත්වයෙන් රෝගල්ගතව සිටින බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ.

ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩුවට අදාළ ලිඛිත විරෝධතා නොවැම්බර් මස 25 වන දා ඉදිරිපත් කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කර තිබෙනවා.