සෙවණගලදී ආයුර්වේද ඖෂධාලයක් වැටලූ සුරාබදු නිලධාරීන් තිදෙනෙක් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

court-2

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තුන්දෙනකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

2016 වසරේ සෙවණගල ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද ඖෂධාලයක් නීතිවිරෝධී ලෙස වටලා එහි කංසා තිබූ බවට චෝදනා කරමින් එහි සේවකයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබඳ ගොනු කර තිබූ පෙත්සමක අවසන් තීන්දුව ප්‍රකාශට පත් කරමින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම ක්‍රියාව තුළින් අදාළ නිලධාරීන් ද්වේෂ සහගත ආකාරයෙන් ක්‍රියා කරමින් තම බලය අවභාවිත කර ඇතැයි තීන්දුව ලබා දෙමින් විනිසුරු මඬුල්ල අවධාරණය කළ අතර එම නිලධාරීන් තුන්දෙනා විසින් රුපියල් ලක්ෂ 04 බැගින් සිය පෞද්ගලික මුදල්වලින් පෙත්සම ඉදිරිපත් කළ ඖෂධාලයේ හිමිකරුට ලබා දිය යුතු බවට නියෝග කර තිබෙනවා.

එමෙන්ම අදාළ වැටලීම තුළින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ අදාළ ඖෂධාලයේ සේවකයින් හතර දෙනෙකුට වගඋත්තරකාර නිලධාරීන් තුන්දෙනා විසින් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවිය යුතු බවත් ඊට අමතරව පෙත්සම්කරුවන් පස්දෙනාට රජය විසින් රුපියල් 10,000/- බැගින් වූ වන්දි ගෙවිය යුතු බවටත් විනිසුරු මඬුල්ල තීන්දුව ලබා දෙමින් නියෝග කර තිබෙනවා.