රාජ්‍ය ණය කළමනාකරණයට මෘදුකාංග පද්ධතියක් මිලදී ගැනීමට යෝජනාවක් කැඳවීමට කැබිනට් අනුමැතිය

cabinet-updates

රාජ්‍ය ණය කළමනාකරණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයෙන් Commonwealth Meridian මෘදුකාංගය මිලදී ගැනීම පිළිබඳ යෝජනාවක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවිය යුතු අතර එම පනතේ 23 වන වගන්තියේ විධි විධාන පරිදි රාජ්‍ය ණය පිළිබඳ කාලානුරූප, විස්තරාත්මක හා නිවැරදි දත්ත හා තොරතුරු සුදුසු දත්ත පද්ධතියක පවත්වා ගත යුතු බවයි අමාත්‍ය මණ්ඩලය පවසන්නේ.

රජය විසින් මේ වනවිට විදේශ ණය වාර්තාගත කිරීම සහ ණය කළමනාකරණය පිණිස පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය වෙතින් ලබාදී ඇති Commonwealth Secretariat Debt Recording and Management System (CS-DRMS) පද්ධතිය යොදාගනු ලබන අතර, එය විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කොට පවත්වාගෙන යන බවයි සඳහන් වෙන්නේ.

එම පද්ධතියේ යාවත්කාලීන කිරීම් සහ වාර්ෂික බලපත්‍රය දීර්ඝ කිරීම පොදු රාජ්‍ය මණ්ඩල ‌ලේකම් කාර්යාලය විසින් මේ වනවිට නවතා ඇති අතර රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ තාක්ෂණික දූත මණ්ඩල සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය විසින් සපයනු ලබන Commonwealth Meridian මෘදුකාංගය හෝ එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය විසින් සපයනු ලබන DMFAS මෘදුකාංගය හෝ යොදා ගැනීම සුදුසු බව නිර්දේශ කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

670e0d696a8da