රජයට කෝටි ගණනක පොහොර වංචාවක් සිදුකළ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියෝග

pohora

ගොවි ජනතාවට අඩු මිලට ලබාදීම සඳහා වසර 6 කට පෙර ආනයනය කළ පොහොර තොගයක් රහසිගතව කර්මාන්තකරුවන්ට ලබාදී රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කර රජයට පාඩු කළ බවට සඳහන් මෙරට පොහොර සමාගම් පහක හා තැරැව්කාර සමාගම් අටක සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

අදාළ පොහොර සමාගම්වල හා තැරැව්කාර ආයතනවල සැකකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර දැක්වෙන වාර්තා කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් අත්අඩංගුවට ගත් පසු වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සිද්ධියට අදාළව විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක අනුර ගමගේ 2018 වසරේදී රජය ක්‍රියාත්මක කළ පොහොර සහනාධාර වැඩපිළිවෙළ යටතේ රුපියල් 1,100 ක සහන මිලකට ගොවීන්ට ලබාදීම සඳහා පොහොර සමාගම් විසින් රුපියල් 2,500 ක මිලකට විදේශ රටවලින් පොහොර ආනයනය කර ඇති බව සඳහන් කර තිබෙනවා.

එම පොහොර තොග පොහොර සමාගම් පහක් විසින් පුද්ගලික අංශයේ කර්මාන්තකරුවන්ට රුපියල් 3,500 බැගින් අලෙවි කර ඇතැයිද එම පොහොර තොග ජනතාවට රුපියල් 1,100ක සහන මිලට ලබා දුන් බවට අඟවා තමන්ට පාඩු වූ රුපියල් 1,400 ක මුදල යළි රජයෙන් ලබාගෙන රුපියල් කෝටි ගණනක් රජයට වංචා කර ඇති බවත් වාර්තා වනවා.