සීනි බදු වංචාව ගැන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට අප්‍රේල් 02 වැනිදා කැඳවීමට නියෝග

court-2

පසුගිය පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1,590ක් පාඩු වූ බව පවසමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම පෙත්සම අද (12) කැඳවූ අවස්ථාවේදී මෙම නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා අද දින සිට සති අටක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස පැවසුවා.

ඊට අමතරව සංශෝධනය කරන ලද වගඋත්තරකරුවන්ගේ නාම ලේඛනය අද දින සිට සති හතරක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කර ඇති අතර ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකාබැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා කැඳවීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.