ළමා රැඳවුම් මධ්‍යස්ථානයක සිටිනා දැරියන් ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට මුදලට විකිණු පාලිකාවක් සම්බන්ධයෙන් මඩාටුගම පොලිසිය පරීක්ෂණ අරඹයි.

WhatsApp Image 2024-06-09 at 15.02.36

24-06-09
කැකිරාව කුෂාන් ජයවර්ධන

ළමා රැඳවුම් මධ්‍යස්ථානයක සිටිනා දැරියන් ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට මුදලට විකිණු පාලිකාවක් සම්බන්ධයෙන් මඩාටුගම පොලිසිය පරීක්ෂණ අරඹයි.
============
මහනුවර ප්‍රෙද්ශයේ පිහිටි පරිවාස දෙපාර්තමේන්තුවට අයත් ළමා රැදවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින දැරියන් ලිංගික කටයතු සදහා විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් මුදල් උපයන බව කියන ළමා රැඳවුම් මධ්‍යස්ථාන පාලිකාවක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

මහනුවර වේරලවත්ත ප්‍රදේශයේ පිහිටි ළමා රැඳවුම් මධ්‍යස්ථාන පාලිකාවක් සම්බන්දයෙන් මෙලෙස පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

අධිකරණ නියෝග අනුව පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින දැරියන් අදාළ පාලිකාව විසින් ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට එම රැඳවුම් මධ්‍යස්ථානය තුළදී මුදලට අලෙවි කර ඇති බවත් පොලිසිය කියයි.

මඩාටුගම පොලිස් වසමේ ස්ථීර පදිංචි 17 හැවිරිදි දැරියක විසින් ඊයේ(08) රාත්‍රියේ මඩාටුගම පොලිස් ස්ථානයට සිදුකර ඇති පැමිණීල්ලකට අනුව එම සිද්දිය සම්බන්ධයෙන් මෙලෙස පොලිස් විමර්ශණ ආරම්භ කර තිබේ.

දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද නියෝගයකට අනුව, මෙම වින්දිත දැරිය ඉකුත් ජනවාරි මාසයේ අවසන් භාගයේ දිනක සිට මහනුවර වේරලවත්ත ප්‍රදේශයේ පිහිටි ළමා රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තැබිමට දඹුල්ල පරිවාස නිලධාරීන් කටයුතු කර තිබිණ. එම ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලිකාවන් කිහිප දෙනෙකුම සේවයේ යෙදි සිටින අතර වින්දිත දැරියන් 30ක් පමන එම ළමා රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින බව ද වාර්තා වේ.

මහනුවර වේරලවත්ත ප්‍රෙද්ශයේ පිහිටි එම ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලිකාවන් අතර සිටින එක් පාලිකාවක විසින්, අවස්ථා කිහිපයකදී එම රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින වින්දිත දැරියන් ලිංගික කටයුතු සඳහා පිරිමි පුද්ගලයන්ට මුදලට අලෙවි කර ඇති බවත්, එම රැඳවුම් මධ්‍යස්ථානය තුළදීම ඔවුන්ට අවශ්‍ය කාමර පහසුකම් ලබා දීමටද මෙම පාලිකාව කටයුතු කර ඇති බවටත්, තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව, අදාළ පාලිකාව විසින් එහි රඳවා සිටි එක් දැරියක් ඉකුත් අප්‍රේල් මාසයේදී යෙදී තිබූ අලුත් අවුරුදු සමයේ මෙලෙස පිරිමි පුද්ගලයින් 06 දෙනෙකුට මුදලට අලෙවි කර මුදල් ලබා ගැනීමට කටයුතු කර ඇති බවට ද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

එම පාලිකාව විසින් වයස අවුරුදු 20ත් 40ත් පමණ වන පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු සඳහා මෙම දැරිය අවස්ථා කිහිපයකදී මුදලට අලෙවි කර ඇති බවත්, එම කටයුතු සඳහා ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පිහිටි වෛද්‍ය කාමරය යොදා ගෙන ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිසිය කියයි.

මෙම දැරියට අමතරව එම රැඳවුම් නිවාසයේ සිටින වෙනත් දැරියන් ද වරින්වර එහි පැමිණෙ පිරිමි පුද්ගලයන්ට අලෙවි කිරීමට එම පාලිකාව කටයුතු කරමින් සිටින බවද පැමිණිලිකාර වින්දිත දැරිය විසින් පොලිසියට ප්‍රකාශකර තිබේ.

පැමිණිලිකාර වින්දිත දැරියගේ ආරක්ෂාව සඳහා එම දැරිය මේ වනවිට මඩාටුගම පොලිස් ස්ථානය භාරයේ රඳවාගෙන සිටින අතර අධීකරණ වෛද්‍ය පරීක්ෂනයක් සඳහා එම දැරිය අද (09) දඹුල්ල මූලික රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීසෙන් අනතුරුව ප්‍රතිකාර සදහා දඹුල්ල මූලික රෝහලටම ඇතුලත් කර ඇති බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
අදාළ ළමා රැදවුම් මධ්‍යස්ථානය තුළදී වින්දිත භාවයට පත් දැරියක විසින් පොලිසියට කර ඇති මෙම පැමිණිල්ලට අනුව, අනුරාධපුර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව, මඩාටුගම පොලිස් ස්ථානාධීපතිවරයාගේ මෙහෙයවීම යටතේ මඩාටුගම පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධීපතිය ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මූලික විමර්ශණ ආරම්භ කර ඇත.

පැමිණීල්ලට අනුව සිද්දිය සම්බන්ධ වැඩිදුර විමර්ශණ කටයුතු වෙලම්බොඩ පොලිස් ස්ථානය මඟින් සිදු කිරිමට නියමිත බව පොලිසිය කියයි.