රට තුළ පවතින ආර්ථික අර්බුදය සමඟ මෙරට පවුල්වලින් 60% ක පිරිසකගේ මාසික ආදායම අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව පවුල් 60% ක මාසික ආදායම අඩු වී ඇති අතර, පවුල් 91% ක මාසික වියදම වැඩි වී ඇති බවයි ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින පුරා සිදු කළ නවතම ගෘහස්ථ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙන්නේ.
වර්තමානයේ දී පවුල් 3.4% ක ආදායම ඉහළ ගොස් ඇති අතර, පවුල් 36.6% ක ආදායම නොවෙනස්ව පවතින බවත් ආදායම් අඩු වූ පවුල්වලින් 73.6% ක් සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර 6% ක් අමතර ආදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයාගෙන ඇති බවද අදාළ සමීක්ෂණයෙන් පෙන්වාදී තිබෙනවා.
මෙරට පවුල්වලින් 22% ක් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ණය බරින් පීඩාවට පත් ව සිටින අතර 2022 වසරේ මාර්තු මාසයෙන් පසු රැකියා නියුක්ත පුද්ගලයින්ගෙන් අඩකට ආසන්න ප්රමාණයකගේ ප්‍රධාන රැකියාවේ වෙනස්කම්වලට මුහුණදීමට සිදුව ඇති අතර රැකියාවලට නොපැමිණීම, වැඩ කරන පැය ගණන අඩු කිරීම, වැටුප් හෝ දීමනා කපාහැරීම සහ ආදායම් අහිමි වීම වැනි වෙනස්කම් එහි දී සිදුව ඇති බවද සඳහන් වනවා.
ආර්ථික අර්බුදය හේතුවෙන් අධ්‍යාපනයට ද බාධා එල්ල වී ඇති අතර, වයස අවුරුදු 3ත් 21ත් අතර 54.9% අධ්‍යාපනයට එමගින් බලපෑම් එල්ල වී ඇති අතර 53.2% ක් ලිපි ද්‍රව්‍ය සඳහා සිදු කරන වියදම් අවම කිරීම හෝ ලිපිද්‍රව්‍ය මිල දී ගැනීමෙන් වැළකී සිට ඇති අතර, 44% ක් අලුතින් නිල ඇදුම් මිල දී ගැනීමට සිදු කරන වියදම් කපා හැර ඇති බවයි වැඩිදුරටත් එම සමීක්ෂණයෙන් අනාවරණයවී තිබෙන්නේ.