ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල කඳු පන්තිය තරම් පාරිසරික ව වැදගත් කඳුකර වනාන්තරයක් තවත් නොමැති තරම් ය. පිදුරුතලාගල කඳුකර වනාන්තර පරිසර පද්ධතිය මෙරට වසන ඒකදේශික සහ ස්ථානීය ආවේණික ජෛව ප්‍රජාවන් සිය ගණනක්, ඉතා කුඩා භූමි කලාපයක් තුළ උවද පවා දැකගත හැකි මට්ටක ඇති සුවිශේෂී සහ සංවේදී පරිසර ලක්ෂණ පිහිටි භූමියක් වේ. මෙම කඳුකර වනාන්තරය දවසේ බොහෝ කාලයන්හි මීදුමෙන් වෙලී අඳුරු ස්වභාවයකින් යුතු ඉතා මනරම් දර්ශනයක් ජනිත කරවන සංචාරක ආකර්ෂණය සහ පරිසර ලෝලීන්ගේ මන බැඳගත් ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක සහ පාරිසරික වශයෙන් අග්‍රස්ථානයේ වැජඹෙන සම්පතකි.
වර්ෂාව ජනිත කරවීමට දායකවන වර්ෂා නිර්මාපකයකු ලෙසත් ජලය ගබඩා කරගන්නා කඳුවැටියක් ලෙසත්, පසුව එම ජලය පහතට ක්‍රමයෙන් ගලායාමට සලස්වා ඇල දොල ගංගා විශාල ප්‍රමාණයක් පෝෂණය කරන ජල පෝෂකයක් ලෙසත් මෙම කලාපය වැදගත්කමක් උසුලයි. කුරුඳු ඔය මින් පෝෂණය වන එක් ප්‍රධාන ගංගාවකි.
පිදුරුතලාගල රක්ෂිතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රක්ෂිතයක් ලෙස නම් කර ආරක්ෂා කිරීම සඳහා වන සුවිශේෂී අවශ්‍යතාවය හඳුනාගන්නේ මීට දශක කිහිපයකට පෙරයි. එසේම මෙම කලාපය කලක අධි ආරක්ෂිත කලාපයක් ලෙසද පැවති අතර ආරක්ෂාවට සහ පරිසර ආරක්ෂණය වශයෙන් යන දිවි ආකාරයෙන්ම පිදුරුතලාගලට හිමිවන වැදගත්කම මිල කළ නොහැකිය.
කෙසේ නමුත් මධ්‍ය කඳුකරයේ ෆයිනස් වැව්වා සේම, පහතරට කලාපයේ යුකැලිප්ටස් වගා කළ සේම, ආර්ථික බෝග වගා මගින් බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයට කළ හානිය සේම, නොයෙක් අවස්ථාවලදී අපගේ දේශපාලනඥයින් විසින් මධ්‍ය කඳුකරයේ සහ තෙත් කලාපයේ වටිනා රක්ෂිත ප්‍රදේශ විවිධ ආකාරයේ නොසුදුසු ඉඩම් භාවිත කාර්යන්ට යොදා ගන්නා ලදී. ඒ අනුව පිදුරුතලාගල අක්කර කිහිපයක් දශක හතරකට පමණ පෙර පර්යේෂණ මට්ටමින් ඇපල් වගා කිරීම සඳහා ප්‍රදේශයේ ජනතාව අතර බෙදා දෙන ලදී. එසේ ප්‍රදේශයේ ජනතාව අතර ඇපල් වගා කිරීම සඳහා බෙදා දුන් වනාන්තර කට්ටිය පසුව ඇපල් ෆාම් ලෙස ප්‍රචලිත විය. කෙසේ නමුත් පසුකාලීනව එම පර්යේෂණ ඇපල් වගාව අතහැර දැමූ අතර අද වන විට කිසිදු ආකාරයක ඇපල් වගාවක් එහි සිදු නොවේ. එසේම එලෙස ඇපල් වගාව නැවතුනු වනසංරක්ෂණ ඉඩම් නැවත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීම සඳහා අවශ්‍ය නෛතිකමය කාර්යයන් සිදු කෙරෙමින් පවතී.
ඉහත සඳහන් ඇපල් වැවීම සඳහා ලබාදුන් කැලෑ කුට්ටිය මෙන් කිප ගුණයක ප්‍රදේශයක් පසුකාලීනව ප්‍රදේශවාසීන්ගේන් ඉඩම් මිලදීගත් ව්‍යාපාරිකයින් විසින් හෙළිකර මහා පරිමාණයෙන් එළවළු වගා කිරීම සඳහා යොදා ගන්නා ලද අතර ඊට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩුකරයන් පවරා ඇති බව වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා පවසයි
තවද අනවසර විදුලි වැටවල් ඇද සතුන් මරා දැමීමත්, කැලය තුළ දඩයම් කිරීමත්, පිදුරුතලාගල වනය තුළ දැව හෙළීමත්, වැනි නීති විරෝධී ක්‍රියාවන් විශාල ප්‍රමාණයක් මෙකී පිදුරුතලාගල වන භූමිය තුල අනවසර ලෙස පදිංචි ව සිටින ව්‍යාපාරිකයෙක් විසින් සිදු කිරීම නිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු විශාල ප්‍රමාණයක් පැවරීමට කටයුතු කර ඇත. තවද කුඩා දිය පහරක් සේ ආරම්භ වන කුරුඳු ගඟේ ජල පෝෂකය කෙලින්ම බට දමා එම ජලය සියල්ලම තම වගාවන්ට ලබා ගැනීම තුළින් කුරුඳු ගඟේ ජලය නොමැතිවීම නිසා වන සතුන් දැඩි පීඩාවට පත්ව ජලය සොයා යාම නිසා දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වේ. තවද බොන්චි වගාව වැනි යම් යම් වගාවන් සඳහා අවශ්‍ය වන කෝටු පිදුරුතලාගල රක්ෂිතයෙන් කැපීම නිසා වනාන්තරයේ මීළඟ පරම්පරාවේ ශාක ඝනත්වය සහ වනාන්තරයේ විවිධත්වය දැඩි ලෙස තර්ජනයකට ලක් කර ඇත. තවද මෙම වගාවන්ට යොදනු ලබන විශාල රසායනික ප්‍රමාණය හේතුකරගෙන අද වනවිට වලපනේ වැනි ප්‍රදේශවල ජනතාව පරිභෝජනය කරන ජලයේ බැර ලෝහ ඇතුළු රසායනික අපද්‍රව්‍ය සංඝටක බහුලව ඇති බවට සමීක්ෂණ වලින් පවා තහවුරු වී ඇත.
මෙම ව්‍යාපාරිකයින් ප්‍රදේශයේ දේශපාලනඥයෙකු හා සම්බන්ධව අක්කර සිය ගණනක් තමන්ගේ පවුලේ ඥාති මිත්‍රාදීන්ගේ සහ යහළුවන්ගේ නම් වලට ලියාගෙන අනවසරෙන් භුක්ති විඳිමින් සිටී. මෙම ව්‍යාපාරිකයින් කාර් සේල්, හෝටල් සහ නොයෙක් ආකාරයේ විශාල ව්‍යාපාර කරන අයවලුන් වේ. එවකට ඇපල් වගා කිරීම සඳහා ලබාදී තිබුණේ බලපත්‍රයක් පමණක් වුවත් පසුකාලීනව එම බලපත්‍ර ලබා දුන් ප්‍රදේශවාසීන්ගෙන් ඉඩම් ලබා ගත් මෙම කූට ව්‍යාපාරිකයින් එලෙස සොච්චමකට ලබාගත් ඉඩම් අද වන විට සින්නක්කරව අයිති කරගැනීමට උපක්‍රම යොදමින් සිටී.
මෙම ව්‍යාපාරිකයින්ට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන මේ වන විට නඩු කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, එලෙස නඩු කටයුතු ක්‍රියාත්මක වන අවස්ථාවක ප්‍රදේශයේ එක්තරා අපකීර්තිමත් සහ පසුගිය මහජන ඡන්දයෙන් පරාජයට පත්වූ නමුත් හිටපු ජනාධිපතිවරයා ගේ අනුහසින් පසුපස දොරින් පාර්ලිමේන්තුවට රිංගා අද වන විට නැවත වතාවක් ඉහත කී ඉඩම් මංකොල්ලය සඳහා අවශ්‍ය වටපිටාව සකසා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැරසෙන බව අපට වාර්තා වේ.
මෙහි අවාසනාවන්තම තත්වය නම් වර්තමාන පරිසර අමාත්‍යවරයා හරහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම මගින් ඉහත කී පිදුරුතලාගල කන්දේ ඉඩම් අක්කර සිය ගණන තම අනුගාමිකයින් අතර බෙදා දීම සඳහා එකී දේශපාලනඥයා කටයුතු කරමින් සිටීමයි. අප වෙත වාර්තා වී ඇති තොරතුරු අනුව හෙට දිනයේ දී එකී කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානමක් ඇත.
යම් හෙයකින් මෙම කැබිනට් පත්‍රිකාව අනුමත වුවො,ත් වනාන්තර සංරක්ෂණය සඳහා කැපවී සිටින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දශක කිහිපයක ප්‍රතිඵලයන් ගඟට කැපූ ඉනි සේ අපතේ යන්නා සේම, ශ්‍රී ලංකාවේ උසම කන්දේ උසම ස්ථානයේ පිහිටි අගනා කඳුකර වනාන්තර පද්ධතියක් සහමුලින්ම විනාශ කිරීම සිදුවන්නේ ය. එපමනක් නොව දැනටමත් මෙම අනවසර වගාකරුවන් විසින් සිදු කරනු ලබන එලවළු වගා කිරීම් තුළින් සහ ඒවාට යොදන අධික කෘෂි රසායන ප්‍රමාණය නිසා ප්‍රදේශයෙන් ආරම්භ වන ජලය මූලාශ්‍ර සහ ඇලදොල දැඩි ලෙස රසායන මගින් අපවිත්‍ර වී ඇත. එකී ඇළ දොළවල සිටින ආවේණික මත්ස්‍යයින්, මැඩියන්, උරගයින්, ඔබය ජීවීන් සහ නොයෙක් පාංශු ජීවීන් දැඩිසේ විනාශ වීමේ තර්ජනයක් ඇතිවී ඇත. මෙසේ සිදු වන්නේ අනවසර වගාකරුවන් විසින් සිදුකරන වගාකටයුතු හේතුවෙන් වන අතර යම් හෙයකින් මෙය නීතිගත කලහොත් අක්කර සිය ගණන දහස් ගණනක් දක්වා වුවත් ව්‍යාප්ත වී මුළු පිදුරුතලාගල ම එළවළු කොටුවක් බවට පත්වීම වැළැක්වීමට කිසිදු ජගතෙකුට නොහැකි වනු ඇත.
පිදුරුතලාගල කන්ද ප්‍රදේශය ලංකාවේ අඩි පන්දාහට වැඩි ඉතා දැඩි උස් කඳු මුදුන් වන අතර පාංශු සංරක්ෂණ පනත යටතේද දැඩි සංවේදී කලාපයක් වන අතර එවැනි කලාප වල මෙවැනි බෝග වගාවන් සඳහා අලුතින් ඉඩම් එක් කිරීම හා වනාන්තර ප්‍රදේශ කෘෂිකාර්මික භූමි බවට පත් කිරීම කිසිසේත්ම සුදුසු නොවන බව ඕනෑම ළදරුවෙකුට අවබෝද කාරණයකි. එසේම ජල සංරක්ෂණය සහ ලංකාවේ වර්ෂාපතන රටාව මෙන්ම දේශගුණික රටාවන් එලෙසම පවත්වා ගැනීම සඳහා පිදුරුතලාගල වැනි කඳුකර වනාන්තර වලින් සිදුවන මෙහෙය අමුතුවෙන් විස්තර කළ යුත්තක් නොවේ. එවැනි ප්‍රදේශයක් බලලෝභී දේශපාලනඥයෙකුගේ හෙන්චයියන්ට ඉඩම් බෙදීමට ඇති අවශ්‍යතාවය හේතුවෙන් කුට්ටිකඩා, කැබලිකර, කැලයකපා, විකිණීම යනු සහගහන අපරාධයකි. එය පරිසර නියාමන ආයතන වන මධ්‍යම පරිසර අධිකාරිය සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන වල සාධනීය කාර්යභාරයන් හෑල්ලුවට ලක් කිරීමකි. එසේම එය සමස්ත ලංකාවේ පරිසරයට කරනු ලබන ආපසු හැරවිය නොහැකි අපරාධයකි. වර්තමාන ජනාධිපතිතුමාගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයටද කරනු ලබන නිගාවකි. පරාජිත දේශපාලනඥයෙකු, ලබන මහ මැතිවරණයේදී දිනවීම සඳහා පිදුරුතලාගල කඳු පන්තිය උකස් කිරීම සිහිබුද්ධිය ඇති කිසිවෙකු අනුමත නොකරන දැඩි පාපයකි. එමනිසා අප බලාපොරොත්තු වන්නේ ජනාධිපතිතුමා ඇතුළු වර්තමාන රජයත්, සියලු පරිසර නියාමන ආයතනත්, සිවු මහා නිකායේ මහනායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ කරගත් මෙරට බෞද්ධ ප්‍රජාවත්, ජාති, ආගම්, කුලමල භේදයකින් තොර සියලු රටවැසියාත් එකතුව පිදුරුතලාගල උකස් නොකර රැකගැනීමට පෙරට එනු ඇතැයි කියාය.