ගමෙන් නගරයට සංක්‍රමණය වූ රැකියා වියුක්තියෙන් පීඩිත තාරුණ්‍යයේ පුරුෂයාගේ ඛේදවාචකය ඉක්මවූ ඛේදවාචකයට මුහුණ පා සිටින්නේ තරුණියයි. ආර්ථික වශයෙන් දිළිඳු ඒකාකාරී ජීවිතයක් ගතකරන ඔවුනට අවශ්‍යව ඇත්තේ පලා යාමටයි.. හොඳම තැනක් සොයාගෙන පලායාමටයි.. ගමෙන් නඟරයට ගොස් නඟරයෙන් වෙනත් රටකට පලා යාමටයි.. ඒ අතරිනුත් වැඩිපුරම මුදල් සෙවිය හැකි හොඳම රටකට පලා යාමටයි… මෙහි කතා නායකයා වන සසිතගේ පෙම්වතිය විටෙක පවසන්නේ “ ලංකාවෙන් එහා ඉන්දියාව හරි කමක් නෑ” යනුවෙනි. මිනිස්සුන්ට ඒ තරමට ලංකාවේ ගතකරන ජීවිතය එපා වෙලාද? එසේ නම් එයට හේතු කවරේද? අධිපරිභෝජනවාදී උන්මත්තක මානසිකත්වයෙන් ඔවුන් වඩාත් සැපවත් ජීවිතයක් සොයති.. ඒත් එය ඊනියා සැපකි..බහුභාණ්ඩික අර්ථවිරහිත සැපකි….නමුත් යුරෝපය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය වගේ ශක්තිමත් ආර්ථිකයක් සහිත රටවලට පැනගත් ලාංකිකයන් තමන් සැපවත් ජීවිතයක් ගතකරන බව ලෝකය ඉදිරියේ ප්‍රදර්ශනය කරති.. තමන් පිළිබඳ ලෝකයා සිතන විදිහ ඔවුන්ට ඇති එකම සැපයි..
සන්නිවේදන තාක්ෂණික විප්ලවය දුර සිටින සමීපතමයින් දෑස් මානයට ගෙන්වයි.. Skype සංවාද මඟින් ලිංගික ආශාවන් සංතෘප්ත කර ගැනීමට බොහෝ දෙනා පෙළඹෙයි. බහුචිතවාදියා හි සසිත තම අරමුණ සමර්ථ කර ගැනීමේදී ඉත්තන් ලෙස යොදා ගන්නේ ගැහැණුන්ය.. ඔහු ගැහැණුන් තිදෙනෙකු තමන් ඔවුන් හා විවාහ වන බවට අඟවා රවටයි.. තවත් ස්ත්‍රීන් තිදෙනෙකු සමඟ ලිංගික සබඳතා සහිත ඇසුරු පවත්වයි. ඒ ඔවුන් ලවා තම කාර්ය ඉටු කර ගැනීම සදහාය..
අන්තර්ජාලය හරහා භාණ්ඩ බෙදා හරින ආයතනයක බෙදා හරින්නෙක් ලෙස සේවය කරන සසිත ගැහැණුන් ආශ්‍රය කරන්නේ තම මූලික අභිප්‍රාය වන පිට රට සිහිනය සැබෑ කරගැනීමට, එම කාන්තාවන්ගෙන් ත්‍යාග ලෙස ද්‍රව්‍යමය වාසි ලබා ගැනීම, ලිංගික ආශාවන් මුදුන් පමුණුවා ගැනීම යන නරුම මානසිකත්වයෙනි. සසිත කාංචනාව අශ්‍රය කරන්නේද ඈ හා විවාහ වීමට නොවේ..ඔහු ආශ්‍රය කළ කාන්තාවන්ගෙන් තම පිටරට යාමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට සහයෝගයක් නොමැතිව අශ්‍රය කළ එකම තැනැත්තිය කාංචනාය..පෙම්වතියගේ කාර්ය ඉටුකරගැනීම සඳහා ඔහු කාංචනා ඇසුරු කළා විනා ඇයව බිරිඳ කරගැනීමේ වුවමනාවක් ඔහුට නැත.
සසිත ආශ්‍රය කරන ස්ත්‍රීන් අතරින් මැදි වියේ සිටින කාන්තාවකි.. ඇගේ සහෝදරයා පිටරට පදිංචිකරුවෙක් වන ඇතර ඇය සුවිසල් නිවසක හුදකලාව පසුවෙයි. සිනමා කෘතියේ ඇය සම්බන්ධ දර්ශනයන්හි ඇය නිතර නරඹන රූපවාහිනි වැඩසටහන් වනුනේ ආගමික වැඩසටහන් හා ජ්‍යෙතිෂ්‍ය වැඩසටහන්ය. ධනපති නිවසක උඩුමහලට වී හුදකලා ජීවිතයක් ගත කරන ඒ අවිවාහක කාන්තාව හුදු සංස්කෘතික සාදාචාරාත්මක බැමිවලින් බැඳී සිටින්නියකි.
සසිතගේ මැදපෙරදිග පෙම්වතියන් දෙදෙනාට අවශ්‍යව ඇත්තේ සුදුසු ජීවණ සහකාරයෙකු සොයාගැනීමටයි. ‘අපි බඳිමු’ යන්න ඔවුන් දෙදෙනා නිරන්තරයෙන් පවසන්නේ එබැවිනි. සසිතගේ තවත් එක් පෙම්වතියක් (සමනලී ෆොන්සේකා පණ පොවණ චරිතය) සසිතගෙන් බලාපොරොත්තු වන්නේ තම පාලුවට හා තනියට විසඳුමකි. සසිත ඇගේ පිටරට සිටින සැමියාගෙන් ඇය ලවා උදව් ලබා ගැනීමේ අරමුණෙන් ඇයව ආශ්‍රය කරයි. බිරිඳ හා දරුවන් නිවසේ රඳවා විදේශ ගතවන සැමියන් සහිත කුටුම්බයන් සේම බිරිඳ සැමියාගෙන් වෙන්ව මැදපෙරදිග රටවල් කරා යන තත්වය ලංකාවේ නොඅඩුව සිදු වෙයි. එම ඕනෑම පවුලකට මෙවැනි තත්වයක් උදාවිය හැකිය. මෙහිදී සැමියා සයුරෙන් එතෙර දුර බැහැර විසීම තුළ ගැහැණියට ආරක්ෂාව සම්බන්ධව ද ගැටලුවක් මතුවෙයි. එහිදී සසිත වැනි තරුණයෙක් ලං කොට තබා ගැනීම යෙහෙකැයි එම තරුණිය සිතන්නට ඇති.
සසිත තම නියම පෙම්වතිය බව හඟවන කාංචනාට සිසිතගේ වෙනත් සබඳතාවක් පිළිබඳ ඉඟිවැටීම නිසා ඔහුගෙන් ඈත්වීමට සිදුවෙයි. ඔහු නැවත ඈ කරා පැමිණුන අවස්ථාවේ , “මම අලුත් Affair එකක් පටන්ගත්තා ” යනුවෙන් පැවසූ පසු සසිතගේ ප්‍රතිපිළිතුර කුමක්ද? , “තමුසෙගේ අර හෙලු පන්තූරයි මාත් එක්ක ඉඳපු එකයි Internet දානවා..බලාගන්නවා” සසිතට ඕනෑම බලු වැඩක් කළ හැකිය. නමුත් පෙම්වතිය ඇය වෙත රැඳී සිටිය යුතුය යන්න නොවේද ඔහුගේ එම නරුම පිළිවදනේ අරුත? ගැහැණිය සම්බන්ධයෙන් ඇති පිරිමියා විසින් නිර්මිත සදාචාර බැමි ස්ත්‍රියට එරෙහිව යොදා ගැනීම තුලින් ඔවුන් පීඩාවට ලක්කිරීම බහුචිතවාදියා තුළ සමකාලීන සමාජය මොනවට විදහා දැක්වීමකි.
කාංචනාගේ විදෙස් රටකට යාමේ සිහිනයෙන් ප්‍රයෝජන ලබාගන්නා අනෙක් පිරිමියා හිටපු වාමාංශිකයෙක් වන සසිතගේ කලින් රැකියා ස්ථානයේ ප්‍රධානියාය..ඔහු තම ලිංගික ආශාවන් කාංචනාගෙන් මුදුන් පමුණුවා ගන්නවා විනා කාංචනාට ලබා දෙන පොරොන්දු ඉටුකරීමක් පිළිබඳ කිසිදු සලකුණක් සිනමා කෘතියේ නොමැත. එම සිදුවීම ද පිරිමියා විසින් ස්ත්‍රිය තම උවමනා ඉටු කර ගැනීමේ භාණ්ඩයක් ලෙස භාවිත කිරීමක් හා රැවටීමට භාජනය කිරීමක් ලෙස හඳුනාගත හැකිය.සසතගේ රැකියා ස්ථානයේ ප්‍රධානියා වාමාංශිකයෙක් ලෙස හඳුන්වාදීම ඉතා උපහාසාත්මක වනුයේ තමා යටතේ රැකියාව කරන තරුණයාට ‘පුතා’ යනුවෙන් ඇමතීමට එහා ගිය වාමංශිකත්වයක් ඔහු තුළ නොමැති බැවිනි.
සසිත සමඟ එක්ව ගංජා උරන මිතුරා දරුවෙකුද සමඟින් තම විවාහක බිරිඳ දික්කසාද කොට ඇය වෙත ගෙවිය යුතු නඩත්තු මුදල ගෙවා දමන්නේ අපූරු ආකාරයකටය. එම මුදල ගෙවා දමන ලෙස සසිතට පවසන මිතුරා ඒ ගණුදෙනුව ඇසුරෙන් සසිත් හා දික්කසාද බිරිඳ අතර ඇතිවන ලිංගික ගණුදෙනුව නොදන්නවා නොවේ. ඒ පිළිබඳව මිතුරා දැනුවත් බව නොදන්නා සසිත් ඇය සමඟ ද යහන් ගතවෙයි. අවසන ඇය ,” අපි බඳිමුදැයි අසන පැනය සසිත වහා ප්‍රතික්ෂේප කරන්නේ, “ පිස්සු ද තමුසෙට?, “ තමුසෙගෙ මිනිහා තව මිනිහෙක් එවාවි.. ඌ බැඳගන්නවා” යනුවෙනි. ඇය පාවිච්චි කොට තම මූලික අරමුණ ඉටුකරගැනීමට නොහැකි හෙයින් ඇය කුණු වූ ගෝවා ගෙඩියක් සේ ය.. ඔහුගේ ලිංගික කාර්ය ඉටු කරගත් පසු ඔහුගෙන් ඇයට තවත් පලක් නැත.
චිත්‍රපටය තුළ සිටින කිසිඳු ගැගැණියක් පිරිමියාව රැවටීමක්, මුලාවක් සිදු නොකරයි. සසිතගේ එක් පෙම්වතියක් වන සමනලී සම්බන්ධ සිදුවීමක් මෙහිදී මාගේ මතකයට නැගෙයි. “හස්බන්ඩ්ට කියල මට UKවලට වීසා එක අරන් දෙනවද? යන්නට” පිස්සුද ඔයා හදන්නෙ මගේ පවුල කඩල දාන්නද?”යනුවෙන් ඇය පිළිතුරු දෙයි. ඔහුගේ හිත හොඳවෙන්න බොරුවක් කියා රැවටීමට ඇයට ඕනෑ තරම් අවස්ථාව තිබියදීත් ඇය එසේ නොකරයි.
සසිතගේ අතීරණය කෙතරම්ද යත් ඔහුගේ පිටරට යාමේ සිහිනය යම්තාක් දුරකට ඉටුකර ගැනීමට ඔහු ලද අවස්ථා පවා ඔහු විසින්ම මඟහැර ගැනුණි. රැකියා වියුක්තියෙන් සේම ආර්ථික දිලිඳුබාවයෙන් පිරි තාරුණ්‍යයට සෘජු තීරණයක් ගත නොහැකි මට්ටමට මානසිකව බිද වැටී ඇත. ඔහු විටෙක තම මිතුරා බඳපන්, යැයි පැවසූ විට “ කවුද බඳින්නෙ? .” යනුවෙන් ප්‍රශ්න කරයි. ‘කවුරු හරි බැඳපන් ”යනුවෙන් ඔහු පිලිතුරු දෙයි. තම ජීවිතය සම්බන්ධයෙන් අතිශය පෞද්ගලික තීරණ ගැනීම් සිදු කළ යුතු අවස්ථාවන්හිදීත් වෙනත් අයගෙන් විමසා ඔවුන්ගේ තීරණ ලබා ගැනීම දක්වා බිඳ වැටුනු මානසිකත්වයෙන් පීඩිත තාරුණ්‍ය පිලිබඳ ඇඟවුමකි එය. නමුත් මෙම චිත්‍රපටය පුරා කාන්තාවන්ගේ හැසිරීම ගතහොත් පිරිමියාට තරම් අතීරණයක් ඇයට නොමැත. නමුත් ඇයව පීඩාවට, රැවටීමට ලක්කොට තම අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ තැතෙහි අවසනක් ද නැත.
මාලක දේවප්‍රියගේ බහුචිතවාදියාහි සෑම චරිතයකම ඇති තාත්වික බව මෙය හුදු සිනමා පටයක් බව අමතක කරවන තරම් ප්‍රබලය. විශේෂයෙන්ම දමිතා අබේරත්න පණ පෙවන මැදපෙරදිග සිටින ලාංකික තරුණියගේ චරිතය ප්‍රේක්ෂකාගාරයට කිසිදා අමතක නොවන මතකයක් වනු ඇත. ආදරය, ඉවසීම, කෝපය වැනි මානව හැඟීම්හි උත්කෘෂ්ටිය අනාවරණය වන භාව ප්‍රකාශනයෙහි පෘතුලතාව නිසා ප්‍රධාන චරිතය අභිබවා යන සාධාරණත්වයක් ඇය මැවූ චරිතයෙන් ඉටු කෙරෙන බව මාගේ හැඟීමයි.
By- Tharushi Nawanjana Liyanachchi