2013 ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී අල්ලස් ලෙස ලබාගත්තේ යැයි චෝදනා එල්ලවන අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලින්, රුපියල් මිලියන 60ක් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදුන්නේ යැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ කළ බව විමර්ශන නිලධාරින් අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි.
කෙසේ වෙතත් කපිල චන්ද්‍රසේන මහතාගේ නීතිඥයින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔහුට තර්ජනය කර ප්‍රකාශ ලබාගැනීම සිදුකර ඇති බවය.
2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වූණි.
ඒ සම්බන්ධයෙන් අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත ප්‍රකාරව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව සැකකාර කපිල චන්ද්‍රසේන ඉකුත් මාර්තු 12 වනදා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට ගත් අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
අදාළ නඩුව අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ යළි කැඳවුණි.
අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන්ත වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
“ස්වාමිනි, අත්අඩංගුවටගත් දින පෙරවරුවේ මේ සැකකාර කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේ උදාර මුහම්දිරම්ගේ නම් නීතිඥවරයෙකුද සමඟින්. එහිදී නීතිඥවරයා අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ගාමිණි අබේසිංහගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා තමන්ගේ සේවාදායකයාට වැඩිදුර තොරතුරු අනාවරණයක් කරන්න තියෙනවා, ඒ නිසා ඔහුව සැකකරුවෙකු ලෙස නම් නොකර සාක්ෂිකරුවෙකු ලෙස නම්කරන්න කියලා. පසුව නීතිඥවරයා ස්ථානාධිපතිවරයාගේ රාජකාරි දුරකතනයේ whatsapp අංකයට දිවුරුම් ප්‍රකාශයක pdf පිටපත යොමුකරලා තියෙනවා. මෙන්න ස්වාමිනි screenshot. එහි අන්තිම ඡේදයේ සඳහන් වෙලා තියෙනවා ශමින්ද්‍ර රාජපක්ෂ, ප්‍රියංකර ජයරත්න යන නම්දෙක සහ තවත් අය කියලා. පසුව ස්ථානාධිපති ගාමිණි අබේසිංහ සහ සහකාර අධ්‍යක්ෂ සුමේන්ද්‍ර මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් උපදෙස් පතලා තියෙනවා. එහිදි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇවිල්ලා ” ඔබ සත්‍ය ප්‍රකාශ කරන්න. තවත් අය යනුවෙන් සඳහන් කරන්නේ කව්ද කියා පැහැදිලිව කියන්න” යැයි සැකකරුට කියලා පිටව ගිහින් තියෙනවා. පසුව ස්වාමිනි මේ සැකකරු සම්පූර්ණ ප්‍රකාශයක් සිදුකළා. ගනුදෙනුවේදී ලද අමෙරිකානු ඩොලර් 2ක මුදල බෙදීගිය ආකාරය ගැන ලේඛනගත සාක්ෂි සමඟ පැහැදිලිව නම් ඉදිරිපත් කළා. ඔහු කියනවා අදාළ මුදලින් රුපියල් මිලියන 20ක් එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට කොල්ලුපිටියේ ස්ථානයකදී ලබාදුන්නා කියලා. පසුව 2015.03.08 දින මොහු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක තනතුරින් ඉවත්වුණාට පසු අවස්ථාවක එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මොහුගෙන් මුදල් ඉල්ලූ බව කියනවා. පසුව බෙලිඅත්තේ නිවසේදී එක් අවස්ථාවක සහ තංගල්ලේ කාල්ටන් නිවසේදී අවස්ථා 02ක රුපියල් මිලියන 20 බැගින් රුපියල් මිලියන 60ක මුදලක් මොහු හිටපු ජනාධිපතිවරයාට දී තිබෙනවා. මොහු කියන කරුණු සියල්ල සත්‍යයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද අවුරුදු 12ක් තිස්සේ නොකියපු කරුණු මොහු දැන් කියන්නේ. නමුත් ගිණුම්වලින් මුදල් ආපසු ලබාගැනීමට අදාළ රිසිට්පත් පවා ඔහු නිවෙසින් රැගෙනවිත් කොමිසමට ඉදිරිපත් කළා. ඒ නිසා අපි මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.”
මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විමර්ශන නිලධාරින්ගෙන් ප්‍රශ්න කර සිටියේ සැකකරු අනාවරණය කළ බවට අල්ලස් කොමිසම පවසන නම්වලට මුදල් ගොස් ඇත්තේ බැංකු ගිණුම් හරහාද යන්නය.
ඊට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා සඳහන් කළේ ” ස්වාමිනි, සැකකරුවෙකු ලෙස නම්කර තිබෙන ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමට මුදල් ගොස් ඇති බව දැනට අනාවරණය වී තිබෙනවා. සිදුවීමට අදාළ සෙසු ගිණුම් පිළිබඳ අපි තවදුරටත් විමර්ශනය කරනවා. එවකට ඇමති ප්‍රියංකර ජයරත්නට සහ ජනාධිපති මහින්ද රාජපක්ෂට මොහු අතට මුදල් දුන් බවයි කියන්නේ. අදාළ කාලසීමාවේ ඔහුගේ බැංකු ගිණුමින් මුදල් ආපසු ගැනීමට අදාළ රිසිට්පත් ඔහු ඉදිරිපත් කර තිබෙනවා.”
අනතුරුව සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා චෝදනා කළේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය සේවාදායකයාගෙන් තර්ජනය කර ප්‍රකාශ ලබාගෙන ඇති බවය.
“ස්වාමිනි, අල්ලස් කොමිසම හරි ලස්සන කතාවක් කිව්වා. නමුත් එදා කොටුව උසාවියේදී ඔය කියන කතා කිව්වේ නැහැ. එදා කිව්වේ සැකකරුට ජීවිත තර්ජනයක් ඇතිවෙන්න පුළුවන් නිසා ඔහු කියපු නම් හෙළිදරව් කරන්නේ නැහැ කියලා. නමුත් අපි එදාම කිව්වා මගේ සේවාදායකයාගෙන් ප්‍රකාශ ගද්දි, යම් යම් නම් එළිදරව් කරන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔහුට තර්ජනය කළා කියලා. කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවකට අදාළව කෙනෙක් එල්ලිලා මැරුණා. ඒ වගේ ඔබටත් මැරෙන්න වෙයි කියලයි අධ්‍යක්ෂ ජනරාල්වරයා තර්ජනය කර තිබුණේ. අල්ලස් කොමිසම පිළිගත්තා මගේ සේවාදායකයා ළඟට අධ්‍යක්ෂ ජනරාල්වරයාව කැඳෙව්වා කියලා. ඔය අධ්‍යක්ෂ ජනරාල් තනතුර හොබවපු තව අයව මම දන්නවා.නමුත් ඒ කවුරුත් මෙහෙම කාමරයට ගෙනල්ලා තර්ජනය කරලා නැහැ. මගේ සේවාදායකයා ඔහුගේ ස්ථාවරය දක්වා තියෙද්දිත් ඊට එහා ගිය දෙයක් වෙන වෙන අයව පටලවාගන්න අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඕන වුණා. මගේ සේවාදායකයා කොමිසමට ගියේ නීතිඥවරයෙකු එක්කනම් ඇයි නීතිඥවරයා සමඟ ඔහුව අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවට ඉදිරිපත් නොකළේ. කනිෂ්ඨ නීතිඥවරයා කෑම කන්න ගියාමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. අධ්‍යක්ෂ ජනරාල්වරයා අහලා තියෙනවා මගේ සේවාදායකයාගෙන් ඔහුව දන්නවාද කියලා. ඔව් දන්නවා. ඔහුම තමයි මේ සිදුවීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙද්දි මාසයක් ඇතුළට මගේ සේවාදායකයාට ඇප දුන්නේ. ඉතිං මහේස්ත්‍රාත්වරයෙක් හැටියට එහෙම ඇප දුන්න සැකකරුවෙකුව පසු අවස්ථාවක මෙහෙම ඔහු ඉදිරියට කැඳවන්න මොනම නෛතික තත්ත්වයක් යටතේදිවත් ඔහුට පුළුවන්ද? ඒක හරිද? මගේ සේවාදායකයාට සිදුවූ සිදුවීම පිළිබඳ මේ දිවුරුම් ප්‍රකාශය අධිකරණයට ගොනුකරනවා.”
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයා සිදුකළ එම කරුණු දැක්වීමට අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර නීති අධ්‍යක්ෂ තනුජා බණ්ඩාර මහත්මිය පිළිතුරු දුනි.
“ස්වාමිනි, මොකක්ද මේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තර්ජනය කළා කියන කතාව. 2023 අංක 09 දූෂණ විරෝධි පනතට අනුව අල්ලස් කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරියා සහ විමර්ශන භාර නිලධාරියා තමයි අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඔහුට තමයි නඩු පවරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණ ගැනීමේ බලය තිබෙන්නේ. ඉතිං ස්වාමිනි ප්‍රකාශ දෙන්න පැමිණෙන පුද්ගලයෙක් මාව සැකකරුවෙකු ලෙස නම්කරන්න එපා, සාක්ෂිකරුවෙකු ලෙස නම්කරන්න කියද්දි, නොසඟවා කරුණු කියන්න කියන එක කොහොමද තර්ජනයක් වෙන්නේ. අනික මතක තබාගන්න. දැන් ඉන්නේ කොටුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා නොවෙයි. විමර්ශන නිලධාරින්ට ගැටලුවක් ඇතිවෙලා ඒකට උපදෙස් පතද්දි නිසි උපදෙස්දීම වරදක් වන්නේ කොහොමද? මේ සිදුවීම සම්බන්ධයෙන් එංගලන්තයේ පවතින නඩුවකට අදාළව එයාර්බස් සමාගම යුරෝ බිලියනයකට ආසන්න වන්දියක් ගෙවලා එකඟවෙලා තියෙනවා සිදුවීමට අදාළව අනෙක් රටවල්වල පවතින නඩුවලට නෛතික සහය දක්වන්න. Airbus සමාගමේ නිලධාරින් මේ නඩුවේදී ලංකාවට ඇවිල්ලා සාක්ෂි දෙන්නත් සූදනාම්. එබැවින් දූෂණ විරෝධි පනතේ පවත්නා විධිවිධාන ප්‍රකාරව මේ සැකකරු නඩු විභාගය අවසන්වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි මා ඉල්ලා සිටිනවා.”
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකාර කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

