හම්බන්තොට මයුරපුර මහවැලි කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්…..

News Iamges.00_00_00_03.Still1276

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහවැලි ගොවීන්ට නිසි අයුරින් ජලය නොලැබෙන පසුබිමක දේශපාලනඥයින්ගේ උවමනාවන් මත DC 7 ඇළ මාර්ගයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කණුවක් භාවිත කර වෙනත් ගොවීන් පිරිසකට ජලය ලබාදීමකට කරයුතු කරන බවට පවසමින් මහවැලි ගොවීන් විරෝධතාවක් සිදුකර තිබේ.

ඔවුන් පවස්නේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කණුවක් භාවිත කරමින් නීති විරෝධී ලෙස හම්බන්තොට කෑලියපුර ප්‍රදේශයේ DC 7 ඇලෙන්, හම්බන්තොට ස්වර්ණමාලි වැව ප්‍රදේශයේ මහවැලි නොවන ගොවින් පිරිසකට ජලය ලබාදීමට යම් කිසි පිරිසක් උත්සාහ දරණ බවය.

පසුගිය 03වනදා පිරිසක් විසින් ජලය ගෙනයාම සඳහා අදාළ කානුවක පිලිසකර කර තිබේ.

එම ස්ථානයට ගිය මහවැලි ගොවින් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නකරන විටදී ඔවුන් පවසා ඇත්තේ වැසි ජලය ගෙනයාම වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරය ඇතිව අදාළ කානුවේ පවිත්‍රතා කටයුතු කරණ බවය.

මෙවන් පසුබිමක පසුගිය 04 වනදා වනවිට එම කානුව  DC 7 ඇළ මාර්ගය දක්වා දික්කොට අදාළ ඇලට කොන්ක්‍රීට් බෝක්කුවක්ද දමා ඇළ මාර්ගය ද හරස් කර තිබු බව ගොවින් පවසයි.

ඒ අනුව අද (05) පෙරවරුවේ අදාළ සිදුවීම සඳහන් කරමින් සිය විරෝධතාවය දන්වා මහවැලි ගොවීන් විසින් හම්බන්තොට මයුරපුර මහවැලි කොට්ඨාශයේ, කළමනාකරණ කාර්යාලයේ කොට්ඨාශ කළමනාකරුට ලිපියක් ලබා දීමට පැමිණ තිබේ.

නමුත් අදාළ නිලධාරියා ගොවීන්ගේ ගැටලුවට නිසි පිලිතුරක් ලබාදීමට නොපැමිණීම හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබුණි.

පසුව පොලීසිය පැමිණ අදාළ කොට්ඨාශ කළමනාකරු සමඟ ගොවින්ට සාකච්ඡාවක් ලබාදීමට කටයුතු කලත් කොට්ඨාශ කළමනාකරු ගොවීන්ගේ ගැටලුවට නිසි පිළිතුරක් ලබාදීමට සමත්ව නැත.

එම අවස්ථාවේ දී එම ස්ථානයට පැමිණ සිටි අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ හා හම්බන්තොට මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු එම ගැටලුවට මැදිහත්වීමත් සමඟ ගොවින් සහ ඔවුන් අතර දැඩි නොසන්සුන්තාවයක් ඇතිව තිබේ.

ගොවින් පවසන්නේ ගොවින් හා නිලධාරීන්ගේ ගැටලුවලට මේ ආකාරයෙන් දේශපාලඥයින්ගේ අනිසි මැදිහත්වීමක් තමන් බලාපොරොත්තු නොවන බවය.

කෙසේ වෙතත් ගොවින් ඒ සඳහා දැඩි  විරෝධය දක්වමින් අදාල නිලධාරීන්ට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගන්නා බව පවසමින් එම ස්ථානයෙන් පිටව ගිය බව  වාර්තාකරු පවසයි.