සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු රිමාන්ඩ්….

News Iamges.00_00_00_03.Still1259

අත්අඩංගුවට ගත් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ හිටපු ප්‍රවාහන කළමණාකරුවෙකු වන ඉන්දික රත්නමලල මහතා ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද (04) ඔහු වත්තල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය කළ බව “අද දෙරණ වාර්තාකරු” පැවසීය.

රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ගාල්ල ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

2011 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලය තුළ ලංකා සතොස ආයතනයේ ප්‍රවාහන කලමනාකාරවරයා ලෙස කටයුතු කර ඇති අදාළ සැකකරු 2012 වර්ෂයේදී අදාල ආයතනය සතු ලොරි රථයක් පෞද්ගලික ආයතනයක පරිහරණයට ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අදාළ ලොරි රථය අමාත්‍යංශයේ රාජකාරි සඳහා යොදවන බවට සටහන් තබමින් සැකකරු විසින් පෞද්ගලික ආයතනයකට ලබා දී ඇති අතර එහි සේවකයින්ට රජයෙන් වැටුප් ගෙවා ඇති බව ද පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් අතර ඔහු ලබන 09වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුතු ද අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඔවුන් දෙදෙනා මේ වන විට සැඟව සිටින බව පොලිසිය සඳහන් කළේය.