මෙරට ඉන්ධන සංචිත තොග පවතින බව රජයෙන් පැවසුවත් හදිසියේ මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගැනීම සම්බන්ධව අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු අනාවරණය කිරීමක් සිදුකළේය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පසුගිය දින කිහිපයේ මෙරට ඉන්ධන පරිභෝජනය ඉහළට මට්ටමක පැවැති බවත් ඒ හේතුවෙන් සංචිත යම් ප්‍රමාණයකින් අඩුවීමක් සිදුවු බවත් ඒ අනුව නව ඇනවුම් කරන ලද තෙල් නැව් දිවයිනට පැමිණියේ නව මිලකට බැවින් මෙම මිල වැඩි කිරීමට සිදුවූ බවය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,
“දැන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩිවීම දළ වශයෙන් 37.76%ක් වෙනවා. පිරිපහදු තෙල්වල වැඩිවීම ඔටෝ ඩීසල් 99.99ක්%, සුපර් ඩීසල් 99.6%ක්, 92 ප්‍රෙට්‍රල් 75%ක් 95 පෙට්‍රල් වැඩිවීම 79%දක්වා වැඩි වීමක් වෙලා තියෙනවා. එකක් තමයි ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල සහ පිරිපහදු තෙල් වැඩිවීම සැලකිල්ලට ගත්තා. ඒකට හේතුව වෙන්නේ අපි ගාව සංචිත තිබුණා. අපි ඇණවුම් කළ තොග ලැබෙමින් පවතිනවා. ඇනවුම් කිරීමේදි මිල තීන්දු වෙන්නේ ගොඩබාන දවසට දවස් 2කට පෙර සහ දවස් 3කට පෙරත් තිබෙන ඇවරේජ් මිලත් එක්ක.
මේ තෙල් මිල වැඩිවීමත් එක්ක බොර තෙල් සහ පිරිපහදු තෙල් මිල වැඩිවීම තුළ අපි වැඩි නොකළානම් පුද්ගලික සමාගම් තෙල් ආනයනය අඩු කරනවා හෝ නතර කරනවා. අපිට එතකොට තෙල් සැපයුමේ බාධාවක් තියෙනවා. අනික තෙල් පරිභෝජනය පසුගිය දවස්වල තිබුණ වැඩිවීම. සාමාන්‍යයෙන් අපිට දවසකට ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් තමයි පරිභෝජනය තිබුණේ. පෙට්‍රල් ඊටත් වඩා අඩුවෙන්. මාර්තු 1-9දක්වා අපේ ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 59,200, පෙට්‍රල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 47,500 ඒ කියන්නේ දළ වශයෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,000ක් පමණ ඩීසල් 23,000ක් පමණ වැඩිපුර පරිභෝජනය කරලා තියෙනවා පසුගිය දවස් කිහිපය ඇතුළත.
මේ පරිභෝජනය තුළින් ඇතිවුණ දේ තමයි අපේ සංචිත තුළ තිබුණ තෙල් සම්පූර්ණ වශයෙන්ම අවසන් වුණා, අලුතින් තෙල් ගේන්න සිද්ධ වුණා තෙල් ගේනකොට ඒ නැව් ආවේ වැඩි මිලට. මේ කාරණා මත මිල වැඩි කරන්න සිද්ධ වුණා. වැඩි කළ යුතු මිල වැඩියි විශාල මිල වැඩි කිරීමක් එකවර කරන්න අපේ ආර්ථිකයට දරාගන්න බැරි නිසා මේ ප්‍රමාණයට වැඩි කිරීම සිදුවුණේ. අනිත් පැත්තෙන්න් මේ හරහා අපි බලාපොරොත්තු වෙනවා තෙල් පරිභෝජනයත් යම් ප්‍රමාණයකට සීමා කිරීමට ජනතාව මේ අවස්ථාවේ කටයුතු කරයි කියලා.”

