ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල දෙවන වටය ඊයේ (20) කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
මේ සඳහා අමාත්‍යාංශ ලේකම් අරුණි රණරාජා සහ බ්‍රසීලයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා සහ පැසිෆික් ලේකම්, තානාපති සුසන් ක්ලිබෑන්ක් එක්ව ඇත.
මෙහිදී එළැඹෙන 2030 වන විට ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ.
තවද පරිණාමය වෙමින් පවතින ගෝලීය ආර්ථික වෙනස්වීම්වලට ප්‍රතිචාර ලෙස සම්බන්ධතා පුළුල් කිරීමේ වැදගත්කමද මෙහිදී දෙපාර්ශ්වය විසින් අවධාරණය කරනු ලැබීය.
සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍රවල අපේක්ෂිත අවබෝධතා ගිවිසුම් සහ ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමේ වැදගත්කම හඳනා ගනිමින් ආරක්ෂාව, නීතිය ක්‍රියාත්මක කිරීම, මිනිස් ජාවාරම සහ ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ මැඩපවැත්වීම, සාම්ප්‍රධායික සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ රාජ්‍යතාන්ත්‍රික පුහුණුව පිළිබඳ ප්‍රධාන නීතිමය මෙවලම් අවසන් කිරීමට ඇති කැපවීම පාර්ශ්වයන් ප්‍රකාශ කළහ.
තාක්ෂණික සහයෝගීතා රාමුව යටතේ කිරි පශු සම්පත් ව්‍යාපෘතිය සහ උක් ව්‍යාපෘතිය අවසන් කර ඇති බවත් බ්‍රසීල සහයෝගීතා ඒජන්සියේ සහාය ඇතිව නුරුදු අනාගතයේදී ඒ සම්බන්ධ ගිවිසුම් අත්සන් කිරීමට අපේක්ෂා කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී දෙපාර්ශ්වය සතුට පළ කළහ.

