වෛද්‍යවරුන්​ගේ අභිමානයට සිදුකරන මේ අභියෝගයට අපි ලෑස්තියි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

doctor1

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවා තිබෙනවා.

මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරි දීමනාව වන මූලික වැටුපෙන් 1/80 ක මුදල සහ නිවාඩු දින දීමනාව වන මූලික වැටුපෙන් 1/20 ක මුදල පිළිවෙලින් මූලික වැටුපෙන් 1/120 සහ 1/30 ක් ලෙස කප්පාදු කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම ගැටලුව සඳහා රජයේ පාර්ශවයෙන් පිළිතුරු ලබාදීමට මාර්තු 05 දක්වා කාලය ලබාදෙන බවත්, නිශ්චිත පිළිතුරක් නොලැබුණහොත් මාර්තු 05 දින සිට හදිසි සේවා පමණක් ක්‍රියාත්මක කරමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යාමට ඒකමතිකව තීරණය කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ.

මෙම සියළු දීමනාවන් කිසිඳු වෙනසක් නොකර ලබාදිය යුතු බවත්, මෙය වෛද්‍යවරුන්ගේ අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් බවත් ජනාධිපතිවරයා මේ අභියෝග කරන්නේ වෛද්‍යවරුන්ගේ අභිමානයට බවත් ඒ අභියෝගයට මුහුණ දීමට තමන් ලෑස්ති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම අයවැය තෙවනවර කියවීමේදී මෙය නිවැරදි කිරීමට කටයුතු නොකළහොත්, මාර්තු 07 වනදා සිට දැඩි තීරණ ගැනීමට කටයුතු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.