විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වෙයි

dalada-new-ggf

විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන්ගේ ප්‍රධානත්වයෙන් අද (06) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව විශේෂ දළදා ප්‍රදර්ශනය දැකබලා ගැනීමට අවම වශයෙන් ලක්ෂ 20ක පමණ බැතිමතුන් පිරිසක් මහනුවරට පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බවද, හැකි තරම් විශාල පිරිසකට දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව ලබාදිය යුතුව තිබෙන බවද මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් සඳහන් කර තිබෙනවා.

දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලසීමාවේ දී මහනුවර නගරයේ පාසල් වසා තැබෙන බවත්, ඒ වෙනුවට වෙනත් දිනවලදී පාසල් පැවැත්වීමට කටයුතු කරන බවත් සඳහන්.

දළදා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීම, නගරය ආලෝක කිරීම, යටිතල පහසුකම් සපුරාලීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන, මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික මහවෙල රතනපාල යන නාහිමිවරු ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.