වර්ණ ගැන්වූ සත්ත්ව හම් තොගයක් කටුනායකදී අත්අඩංගුවට…..

News Iamges.00_00_01_15.Still1617

වියළා, වර්ණ ගන්වා සකස්කර නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ සත්ත්ව හම් තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු නිලධාරීන් සහ රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ අංශයේ නිලධාරීවරුන් පිරිසක් විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා ව්‍යාපාරිකයන් සඳහා වූ ‘රක්ත මාවත’ (Red Channel) ඔස්සේ අදාළ හම් තොගය  පිටතට රැගෙන යාමට උත්සාහක කිරීමේදී මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර තිබේ.

මුදල් පසුම්බි සකස් කිරීම සඳහා කිඹුලන්,පිඹුරන්, වෙනත් උරගයින් සහ වෙනත් සත්ත්වයින්ගේ හම් කොටස් 19ක් මෙහිදී සොයාගෙන ඇත.

අදාළ පුද්ගලයා වනජීවී සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, සත්ත්ව රෝග හා සම්බන්ධ වෙනත් අණ පනත්වල සඳහන් නීති සහ රෙගුලාසි රැසක් උල්ලංඝනය කර මෙම හම් තොගය මෙරටට රැගෙන විත් තිබේ.

සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු මෙම සත්ත්ව හම් තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන තම ගමන් මලු තුළ සඟවාගෙන ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

මෙම ව්‍යාපාරිකයා රේගු නිලධාරීන් වෙත මෙම සත්ත්ව හම් තොගය රෙදිපිළි ලෙස පවසමින් රේගු නිලධාරීවරුන් නොමග යැවීමට තැත්කර ඇත.

කෙසේ නමුත් රේගු නිලධාරීන් ඉතා සූක්ෂම ලෙස ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.