එප්පාවල, පොත්තේගම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව, ඔහුගේ ගර්භනී බිරිඳ, දරු දෙදෙනා හා තවත් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව එප්පාවල පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තඹුත්තේගම මූලස්ථාන පොලිස් ස්ථානයේ තොරතුරු තාක්ෂණ අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු වේ.
ඔහු සිය බිරිඳ, දියණිය, පුතණුවන් හා තම පොලිස් ස්ථානයේම තොරතුරු තාක්ෂණ අංශයේ සේවයේ නියතු පොලිස් කොස්තාපල්වරයකුද සමඟින් ලොරි රථයේ ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
අධික වේගයෙන් පැමිණි ඇති ලොරි රථය වේගය පාලනය කර ගත නොහැකිව ඉදිරියෙන් පැමිණි බස් රථයක පැති කණ්නාඩියේ ගැටී අසල තිබූ බස් නැවතුමකද ගැටී පෙරලී ගොස් ඇත.
ලොරි රථය බස් නැවතුමේ ගැටීමෙන් සිදුවූ අනතුරින් ලොරි රථයේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
තුවාල ලැබූ ගර්භනී බිරිඳ, දරු දෙදෙනා හා පොලිස් කොස්තාපල්වරයා කඩිනමින් එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

